SRILANKAN NEWS

උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම ගැන තීරණයක් නැහැ – සම්බන්‍ධන්

සම්බන්‍ධන්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ කෙටුම්පත් සකස් කිරීමේදී ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලෙස උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්‍ධයෙන් කිසිඳු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.

වත්මන් දේශපාලන තත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව පසුගිය සඳුදා දින තමිලරසු පක්‍ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක මන්ත්‍රීවරුන්ව සිය නිවසේ හමුවූ අවස්ථාවේ සම්බන්‍ධන් මහතා මේ බව පවසා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවදී වැදගත් කරුණු තුනක් සම්බන්‍ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ සම්බන්‍ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැති බවද හෙතෙම පවසා තිබේ.

උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්‍ධයෙන් වැදගත් කරුණු කිහිපයකට එකඟවීමට අවශ්‍යවී තිබේ. අපි මුස්ලිම් ජනතාව සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට හැකි බව විශ්වාස කරනවා, මුස්ලිම් ජනතාව සමඟ එකතාවයටක නොපැමිණ මෙය ක්‍රියාත්මක කිරීමට අපහසුය. මේ අතර, අපගේ එකඟතාවය හා සමඟිය නොමැතිව ඔවුන්ට ද විසඳුමක් ලබා ගැනීමට නොහැකිය. මේ සම්බන්‍ධයෙන් දෙපාර්ශවයම සාකච්ඡා කර යහපත් එකඟතාවයකට පැමිණිය යුතු යැයි හෙතෙම පවසා තිබේ.

තවද ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කිරීමට තමන් උත්සහ කරමින් සිටින බවත්, මෙම වසර අවසන්වීමට පෙර විසඳුමක් ලබාගත හැකි යැයි විශ්වාස කරන බවද සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.