SRILANKAN NEWS

මැතිවරණයට වියදම් කල හැකි උපරිම මුදල් ප්‍රමාණය සීමා කෙරේ ?

මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සීමා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සහයෝගය මත කෙටුම්පතක් සකස් කිරීමට කටයුතු කරන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

මැතිවරණවලදී සිදුවන අක්‍රමිකතාවැළැක්වීම සඳහා මෙම ක්‍රියාදාමය සිදුකරන බවත්, ඒ සඳහා දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනීම විද්වතුන්ගේ අදහස් ලබාගැනීම සිදුකිරීම ආරම්භ කර තිබෙන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

සකස් කරන කෙටුම්පත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, එය පාර්ලිමේන්තුවේ සකස්වන නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම්ද මේවනවිට සකස් කරමින් සිටින බවද ඔහු පවසා සිටියේය. අදාළ මුදල් සීමා කිරීම බලප්‍රදේශයට අනුව සහ විවිධ මැතිවරණවලට ගැළපෙන ලෙස සකස් කිරීමට කටයුතු කරන බවද විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ලබන වසරේ පෙබරවාරි මාසයට පෙර මෙම කෙටුම්පත සකස් කරන බවද ඔහු පවසා සිටියේය.