SRILANKAN NEWS

උදිත හිමි, ගලප්පත්ති, සිසිර ඇතුළු 05කට පොලීසියෙන් කැඳවීමක්

හම්බන්තොට වරාය හා ඒ ආසන්න ඉඩම් අක්කර 15,000ක් වසර 198කට චීනයට විකිණීමට එරෙහිව හා වරාය සේවකයන්ගේ රැකියා අහිමි කිරීමට එරෙහිව “හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව” විසින් පසුගිය 14වනදා සංවිධානය කළ විරෝධතාවයට සහභාගීවීමේ චෝදනා මත ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාට, ජනතා විමුක්ති පෙරමුණේ පළාත්සභා මන්ත්‍රී සිසිර වාහල්තන්ත්‍රී මහතාට සහ ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ ඇතුළු පස්දෙනෙකුට ලබන 23ට පෙර හම්බන්තොට පොලීසියට පැමිණ කටඋත්තරයක් ලබා දෙන ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පති මහතා සඳහන් කර සිටියේ එදින විරෝධතාවය පැවති අවස්ථාවේදී කිසිදු වාරණය නියෝගයක් හෝ වෙනත් අධිකරණ නියෝගයක් විරෝධතා කරුවන් වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු නොකළ බවය.

එමෙන්ම ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පැවති විරෝධතාවයට නොව ජනතාව මුහුණදෙන අසාධාරණයකට එරෙහිව යුක්තිය ඉටුකරගැනීමටත් අයිතිවාසිකම් දිනාගැනීමටත් පවත්වන ඕනෑම විරෝධතාවයකට තමන් සහභාගී වන බවත් එම සටන්වලට සහයෝගය ලබා දීමෙන්පසු මුහුණදීමට සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙවැනි බලපෑම්වලින් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ග හෝ ජවිපෙ සාමාජිකයන්ගේ ක්‍රියාමාර්ග මොට කළ නොහැකි බවත් හම්බන්තොට ජනතාවගේ ඉඩම් අයිතිය රැකි දීම වෙනුවෙන් “හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව” ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට ඉදිරියේදීද සහයෝගය ලබා දෙන බවත් ගලප්පත්ති මහතා වැඩිදුරටත් පැවසීය.

lankatruth.com