ARTICLES

නව ව්‍යවස්ථාව, වරදාන සහ දේශපාලනය

මෛත්‍රී – රනිල් ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සහ සිවිල් බලවේගයන්ගේ ප්‍රධානතම අපේක්ෂාව බවට පත්ව තිබේ. නව ව්‍යවස්ථාව මගින් අඩ සියවසකටත් වැඩි කාලයක් පුරා නොවිසදී පවත්නා ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් ලබා දී මෙරට අනාගතය කෙරෙහි තීරනාත්මක බලපැමක් ඇති කරනු ඇතැයි එම බලවේග අපේක්ෂාවෙන් පසුවෙති.

දෙමළ ජාතික සන්ධානය ඇතුලු සියලු දෙමළ දේශපාලන පක්ෂ අයවැයට පක්ෂව පාර්ලිමේන්තුවෙහිදී ජන්දය පාවිච්චි කලේ එම බලාපොරොත්තුව ඇතිව බව ජනවාර්ගික සංහිදියා ඇමැති මනෝ ගනේෂන් ට්වීට් පණිවිඩයක් මගින් කියා තිබුණි. එසේ නමුත් පසුගිය මාසය දෙක තුන පුරා දෙමළ ජාතික පක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් එන්නම විවේචනාත්මක ආකල්පයක් කරා ගමන් කරමින් තිබෙන බව අප අමතක කළ යුතු නැත.

දෙමළ ජාතික සන්ධානය මෛත්‍රී-රනිල් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කිරීම කම්බියක් උඩ ගමන් කිරීමක් හා සමානය. මන්ද යත් ඉංග්‍රිසින්ගෙන් නිදහස ලැබූ දා පටන් සිංහල දේශපාලන නායකයින් කර ඇත්තේ දෙමළ දේශපාලන පක්ෂ කඩේ යැවීම සහ පොරොන්දු කඩ කිරීම පමණක් නිසාය. මෙවර මෛත්‍රී- රනිල් ආණ්ඩුව කෙරෙහි දෙමළ ජාතික සන්ධානය තබා ඇති විශ්වාසය බිඳ වැටුනහොත් දෙමළ සන්ධානය කම්බියේ ගමනින් ඇද වැටෙනු ඇත්තේ අගාධයකටය. එම හිඩස පුරවනු ඇත්තේ අප කැමැති වුණත් නැතත් විග්නේශවරන්වාදී දේශපාලනයක් විසිනි.

දැනට ඉදිරිපත් වි ඇති කෙටුම්පත් මගින් නව ව්‍යවස්ථාව මෙරට ජනයාගේ සමස්ත මානව හිමිකම් කොතෙක් දුරට ආරක්ෂා කර වර්ධනය කරනු ඇත්ද සම්බන්ධයෙන් කිසිදු අවසාන තීරණයක් අපට ලබා දෙන්නේ නැත. මන්ද යත් එම කෙටුම්පත් යෝජනා හුදෙක් පාර්ලිමේන්තුවේ සළකා බැලීම පිණිස ඉදිරිපත් කරන ලද ඒවා නිසාය.

කෙසේ වෙතත් ජනවාර්ගික ප්‍රශ්ණයට සාධාරණ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට විශේෂයෙන්ම ජනාධිපති සිරිසේන කැපවී සිටින බව පෙනෙන්නට තිබේ. එනමුත් රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ එවැනි කැපවීමක් පෙන්වා නැත. ඔහුගේ මුදල් ඇමැතිවරයාගේ අයවැය විසින් ද පෙන්වා ඇත්තේ බලය මධ්‍යගත කර ගැනීමට ඇති ආශාවයි.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපෘතිය මෙරට ජාවාරම්කාර ධනපති පංතිය ශක්තිමත් කිරීම පිණිස ඉලක්ක කරන ලද එකක් බව ගතවන සෑම දවසක් පාසාම පෙනී යයි. ඔහුගේ දේශපාලනය අංහකාර පරවශ සහ ජනතාව ගැන නොතකන එකක් බව පාර්ලිමේන්තුවේ ඔහුගේ කතාබහ මගින් පෙන්නුම් කරන යතාර්ථයයි. එමගින් ආණ්ඩුවේ පිරිහීම ඔහු විසින් දැනටමත් දියත් කර තිබේ.

ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙහිදී තුනෙන් දෙකක ජන්දයක් ගැනීම වළක්වන බවට රාජපක්ෂ බැලයින් දැනටමත් අභියෝග කිරීමට පටන් ගෙන තිබේ. ඔවුන් කියන්නේ ආණ්ඩුවේ මංත්‍රීවරුන් බා ගැනීම මගින් තමන් පාර්ලිමේන්තුවෙහිදීම නව ව්‍යවස්ථාව පරාජය කරන බවයි. පරාජිත මහින්ද රාජපක්ෂ මෙන්ම අනාගත නායකයා වීමට පෙරුම් පුරන ගොඨාභය රාජපක්ෂ යන දෙදෙනාගේම දේශපාලනයේ නාභිය වන්නේ ජාතිවාදයයි. දෙමළ ජනයාට සාධාරණය ඉටු කැරෙන කවර හෝ පියවරක් සිංහල ජනයාට එරෙහි කූඨ කුමන්ත්‍රණයක් බව බවට හුවා දැක්වීම අයිය මලෝ දෙදෙනාම එක දිගට කරගෙන යති.

ජනාධිපතිවරයා ඉඳහිට කරන කතාවක් හෝ ඔහුට පක්ෂපාතී ඇමැතිවරයකු හෝ දෙදෙනෙකු කරන පුවත්පත් සාකච්ජාවක් හැරුන විට දේශපාලන විසඳුමක් සහිත නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳ කැරෙන දේශපාලන සාකච්ජාවක් රටෙහි නැත. විවිධ රාජ්‍ය නොවන සංවිධාන සිය ව්‍යාපෘති සම්පූර්ණ කර ගැනීම පිණිස කාමරවලට පිරිස් කැඳවා කරන සාකච්ජා හැරුණ විට සිවිල් සමාජයෙන් දේශපාලන විසඳුමක අවශ්‍යතාවය පැහැදිළි කරන මහජන ව්‍යාපාරක්ද නැත.

මේ සම්බන්ධයෙන් ඉංග්‍රිසියෙන් ලිපි ලියන කුඩා බුද්ධිමත්හු කණ්ඩායමක් සිටිති. ඉංග්‍රිසියෙන් ලියා මහජන මතයක් සෑදිය නොහැකි බව එවැනි පිරිස් නොදන්නවා නොවේ. එවැනි ප්‍රයත්නයක් යහපත් අරමුණින් සිදු වුවද අවසානයේ සේවය කරන්නේ එම ලිපි ලියන අයගේ පුද්ගලික කීර්තිය ඉහළ යැමට පමණය. ශ්‍රී ලංකාවේ අනාගතය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් ප්‍රභූ සමාජය ඉංග්‍රිසි බසින් කරන බුද්ධිමය අභ්‍යාස කණගාටුවට මෙන් මෙරට ජනයා වසන පොළවට පතිත වන්නේ නැත.

නව ව්‍යවස්ථාවෙහි සාධාරණ සහ පිළිගත හැකි දේශපාලන විසඳුමක් අඩංඟුවනු ඇතැයි උපකල්පනය කළ විට අපට මෙවැනි චිත්‍රයක් දැක ගත හැකිය.

ජනාධිපති සිරිසේනගේ කතා බහෙන් පෙනෙන්නේ පාර්ලිමේන්තුවෙහි ශ්‍රීලංනිප නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට නොකඩවා වරදාන සැපයීම මගින් එවැනි නව ව්‍යවස්ථාවට අවශ්‍ය තුනෙන් දෙකක පාර්ලිමේන්තු ජන්දය ලබා ගැනීමට පුළුවන් වනු ඇතැයි ඔහු විශ්වාස කරන බවයි. එය එසේ වීමට බොහෝ දුරටම ඉඩ තිබේ.

ප්‍රශ්ණය ඇතිවනු ඇත්තේ එම ව්‍යවස්ථාව ජනමත විචාරණකට යොමු කළ විටය. රාජපක්ෂ බලවේග අන්ත ජාතිවාදය මගින් සිංහල ජනයා එවැනි ව්‍යවස්ථාවකට විරුද්ධ කර වීමට උත්සාහ දරනු ඇත. ආණ්ඩුව කෙරෙහි වර්ධනය වෙමින් ඇති ජන අප්‍රසාදය ද යොදා ගනිමින් දේශපාලන විසඳුමක් සහිත නව ව්‍යවස්ථාව සිංහල බහුතර ජනයා ප්‍රතික්ෂේප කළහොත් කුමක් වනු ඇත්ද? එමෙන්ම අප මතක තබා ගත යුත්තේ එවැනි විසඳුමක් අඩංඟු වුවහොත් නව ව්‍යවස්ථාව දෙමළ ජනයාගේ සියයට 99ක ජන්දයක් ලබා ගනු ඇති බවයි.

එවැනි ජනමත ප්‍රතිපලයක් විසින් ලෝකයාට දෙනු ඇති නිශ්චිත පණිවිඩය වනු ඇත්තේ ශ්‍රී ලංකාව බෙදී ගිය සමාජයක් බවත් එහි බහුතර සිංහල ජනයා සුලුතර දෙමළ ජනතාවට සමාන අයිතීන් ලබා දීමට විරුද්ධ බවත්ය. දේශීය වශයෙන් එවැනි තත්වයක් විසින් ඇති කරනු ඇත්තේ ජාතික අසමගිය සහ දේශපාලන අස්ථාවරත්වයයි. පොදු වශයෙන් එවැනි තත්වයත් විසින් ජනවාරි විප්ලවයේ අපේක්ෂා උඩියටිකුරු කොට යළි භීෂණ සමයකට මඟ පෑදීමට ඉඩ නැතුවා නොවේ.

එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීම උදෙසා කළ යුතු සහ කළ හැකි ප්‍රධානතම පියවර නම් සිංහල ජනයා අතර බලය බෙදා හැරීමට පක්ෂව පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ඇති කිරීමයි. එවැනි ව්‍යපාරයක් විසින් ආමන්ත්‍රණය කළ යුත්තේ කාමර වලට කැඳවන සියයේ හමාරේ පිරිස් වලට නොව දහස් ගණනින් රැස් කැරෙන මහා ජනයාටය.

ඇත්ත වශයෙන්ම නම් දැනටමත් වාසිදායක ජනමතයක් ගොඩ නැගීමට කල් පසුවී වැඩි වීමට ඉඩ තිබේ. අප කව්රුත් දන්නා දෙයක් නම් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහී ඇති බවයි. එය මෙතෙක් පැවැති සෑම ආණ්ඩුවක්ම මුහුණ දුන් යථාර්තයයි. පළමු දින සියය තුල ව්‍යවස්ථාව ගෙන ආවේ නම් ලෙහෙසියෙන්ම ජනමත විචාරණයකින් වුව ජය ගන්නට ඉඩ තිබුණි. මහජන මත විචාරණ මගින් ව්‍යවස්ථා හැදීම යනු බොරුවකි.

මහා ජනයා ව්‍යවස්ථා සම්පාදනය ගැන දන්නා දෙයක් නැත. ආණ්ඩුව දැන් වුවත් කළ යුත්තේ විශේෂඥ පිරිස් ලවා ව්‍යවස්ථා කෙටුම්පත අවසන් කර එය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඊට සමගාමීව දැවන්ත මහජන අවබෝධතා ව්‍යාපාරයන් ගෙන යෑමේ ශක්තිය ඇති ප්‍රභූවාදී නොවන පුරවැසි ව්‍යාපාරයන්ට අතදීමයි.

එවැනි සාර්ථක මහජන ව්‍යාපාරයන් පිළිබඳ අත්දැකීම් අප සතුව නොඅඩුව තිබේ.

වරදාන වළදන මැති ඇමැතිවරුන් විසින් මහජනයා අතර නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳ දේශපාලන දැනුවත් කිරීම් කරනු ඇතැයි සිතා සිටියහොත් එය එළුවාගේ අහල් එක වැටෙන තුරු බලාගෙන සිටි නරියාගේ තත්වයට ආණ්ඩුව ඇද වැටීමක් වනවා ඇත. අවශ්‍ය කරන්නේ වරදාන නොවේ. දේශපාලනයයි. ආණ්ඩුව නොකරන්නේ ද එයමය.

වන ව්‍යවස්ථාවක් ගෙන ඒ මගින් මෙරට සෑම ජන කොටසකගේම අපේක්ෂා සැපිරීම ආණ්ඩුවේ අම්ල පරීක්ෂණය බව මතක තබා ගැනීම වැදගත්ය. එහිලා ආණ්ඩුව අසමත් වුවහොත් ජනවාරි විප්ලවයේ අපේක්ෂා සුන්නත් දූවිලි වී රට අරාජික විමට පවා ඉඩ ඇති බව ද මතක තබා ගැනීම ඊටත් වඩා වැදගත්ය‍.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya
– vikalpa.org