SRILANKAN NEWS

උතුරේ සිට ඉන්දියාවට මගී නෞකාවක්

උතුරේ සිට ඉන්දියාව දක්වා මගී නෞකාවකට ගමන් කිරීම සඳහා වසර 32කට පසුව අවසර ලබාදී ඇත.

ඒ ජනවාරි දෙවන දා සිට 12 වැනිදා දක්වා දකුණු ඉන්දියාවේ කෝවිලක පැවැත්වෙන තිරුවාතිරෙයි හින්දු උත්සවයට සහභාගි වන උතුරේ හින්දු බැතිමතුන් වෙනුවෙනි.

මෙම උත්සවයට සහභාගි වන උතුරේ ශිවසේනා හින්දු සම්මේලනයේ ප්‍රධානී මරවන්පුලව් සචිත්තානන්දන් පැවසුවේ මෙවර එම උත්සවයට උතුරේ හින්දු බැතිමතුන් 2000ක් පමණ සභභාගි වන බැවින් ඊට නැවකින් ගමන් කිරීමට තමන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අවසර ඉල්ලූ බවයි.

දකුණු ඉන්දියාවේ පිහිටි එම හින්දු කෝවිලෙන් බැතිමතුන්ට අවශ්‍ය සියළුම පහසුකම් ලැබෙන බැවින් තමන් ආණ්ඩුකාරවරයාගෙන් නෞකාවක ගමන් කිරීම පිණිස පමණක් අවසර ඉල්ලූ බව පැවසූ ඔහු මේ වන විට ඊට අවසරය ලැබී ඇති බව තමන්ට දැන ගැනීමට ලැබුණු බවද කියා සිටියේය.

මේ පිළිබදව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන් වෙත කරන ලද ඉල්ලීම ආරක්ෂක අමාත්‍යංශය වෙතත්, ශ්‍රී ලංකා නාවුක හමුදාව වෙතත් ඉදිරිපත් කර ඊට අවශ්‍ය අවසරය ලබා දුන් බවයි.

ගමන සඳහා අවශ්‍ය වන ගමන් බලපත්‍ර, වීසා හා නැව් ගාස්තු ගමනට සහභාගි වන බැතිමතුන් විසින් දැරිය යුතු බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසිය.

යාපනය හා ඉන්දියාව අතර මගී නෞකා සේවයක් ආරම්භ කිරීමට අදහසක් ඇත්දැයි ආණ්ඩුකාරවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එය ඉදිරි කාලයේදී සිදුවනු ඇති බවයි.

(නෙත් නිවුස්)