SRILANKAN NEWS

ජාතීන් අතර බැඳීමක් ඇති කළ යුතුයි, සහජීවනය නොමැති තැන සාහිත්‍යයේත් දියුණුවක් නැහැ – අගමැති

සාහිත්‍ය දියුණුවට සහජීවනය අත්‍යවශ්‍ය අතර සහජීවනය නොමැති තැන සාහිත්‍යයේත් කවියේත් දියුණුවක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී පසුගියදා පැවති සහජීවනය උදෙසා කවියෝ ප්‍රසංගයට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

විසිඑක්වැනි ශත වර්ෂයට පැමිණි සිටින අප ජාතීන් අතර සම්බන්ධය ඇති කළ යුතු බව පෙන්වා දුන් අගමැතිවරයා අපේ සාහිත්‍යයේ නවීකරණයක් විය යුතු බව ද සඳහන් කළේය.

සාහිත්‍යයත් කවියත් මේ වනවිට ඩිජිටල් යුගයකට යොමු කළ යුතුව තිබෙනවා. එහි මූලිකත්වය සහජීවනයයි. අපි සියලු දෙනාම අපේ ජනවර්ගය, සංස්කෘතිය, භාෂාව සහ ආගම් පිළිබඳව ආඩම්බර විය යුතුයි. ඒ පිළිබඳව ලැජ්ජාවීමට කිසිදු හේතුවක් නැහැ. නමුත් අප වෙනත් ආගම් හෙළා දැකීම සිදු නොකළ යුතුයි. එවිට විශාල දියුණුවක් ඇති වනවා. අන් අයගේ භක්තියටත් ගරු කළ යුතුයැයි අශෝක අධිරාජ්‍යයා පැවසුවේ එම නිසායි. නමුත් තමන්ගේ භක්තිය පිළිපදින්න. එහි කිසිදු වරදක් නැහැ. ඒලෙස අප වෙනත් ආගම්වලින්, වෙනත් සංස්කෘතිවලින් පෝෂණය වනවා නම් අපට සැබෑ ශ්‍රී ලාංකිකයින් ලෙස ආඩම්බර විය හැකියි.

මම සිංහලයෙකු ලෙස, බෞද්ධයෙකු ලෙස, ශ්‍රී ලාංකිකයකු ලෙස ආඩම්බර වනවා. ඒ නිසා මම දෙමළ සංස්කෘතියටත්, මුස්ලිම් සංස්කෘතියටත්, ක්‍රිස්තියානි සංස්කෘතියටත් ඇහුම්කම් දෙනවා. ඒ නිසයි මම මර්සලින් ජයකොඩි පියතුමාගේ සිංදු අහන්නේ. ඕලූ නෙළුම් වාගේ සිංදු පියතුමෙක් ලිව්වා කියලා ප්‍රතික්ෂේප කරන්න ද? එහෙම බැහැ. අලගියවන්න මොහොට්ටාලගේ කවි ඔහු කතෝලිකයකු වූ දවසේ සිට අපි ප්‍රතික්ෂේප කළ යුතුද? එසේ කළ නොහැකියි. මේ සියල්ල අපේ සංස්කෘතියේ කොටස්. අන්න එයටයි ශ්‍රී ලංකාව කියන්නේ. අපි තනිව සිටියා නම් අපි සීමා පනවා ගත්තා නම් අපි මුලින්ම ප්‍රති‍ක්ෂේප කරලා ගහලා පන්නන්නේ තපස්සුබල්ලූක. මොකක් ද මේ පිටින් ආපු මිනිස්සු ගෙනාපු ආගම කියලා අපි ප්‍රශ්න කරන්න ඉඩතිබුණා.

අද වගේ වෙබ් අඩවි, සෝෂල් මීඩියා එදා තිබුණා නම් ඇයි රජතුමා තපස්සුබල්ලූක ගෙනාවේ. ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය, කේෂ ධාතු ගෙනාවේ ඇයි කියලා ප්‍රශ්න කරන්න ඉඩ තිබුණා. අපට ගස් ගල් වදින එක හොඳයි කියලා කියන්න තිබුණා. හොඳ වෙලාවට සෝෂල් මීඩියා ඒ කාලයේ තිබුණේ නැහැ. අද තිබෙන අන්තවාදී සංවිධාන තමයි ප්‍රශ්න ඇති කරන්නේ. ඒ කාලේ සෝෂල් මීඩියා තිබුණා නම් මිහිදු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළ දවසේ මොනවා ලියයි ද? අද ඉන්න අය එදා හිටියා නම් මොනවා කියයි ද? එසේ නම් බුදු දහමත්, පාලි භාෂාවත් මේ රටේ නැහැ.

1766 දී ගජමන් නෝනා ජීවත්වූ ප්‍රදේශය ඕලන්ද ජාතිකයින්ගේ සමාගමට අයිති වුණා. ඒ හරහා ඕලන්ද ජාතිකයින් ඒ ප්‍රදේශයේ විශාල සම්බන්ධතා ඇති කර ගත්තා. එම සම්බන්ධතා අතුරින් වැදගත්ම පුද්ගලයකු වුණේ පහතරට සංඝනායක ලෙස සැලකූ කරතොට නායක ස්වාමීන් වහන්සේයි. පහතරට වැදගත් සංඝ පරම්පරා රාශියක් බිහි වුණේ උන්වහන්සේගේ පුරෝගාමීත්වයෙන්. ගජමන් නෝනාට විශේෂයෙන් උදව් උපකාර කළේ අපේ කරතොට නායක ස්වාමීන් වහන්සේයි.

විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයින් මේ ප්‍රදේශය යටත් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය වුණා සිංහල භාෂාව ඉගෙන ගැනීමට. ඒ හේතුවෙන් ජෝන් ඩොයිලි මැතිතුමා කරතොට නායක ස්වාමීන් වහන්සේගෙන් සිංහල ඉගෙන ගැනීමට පැමිණියා. මේ කාලයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමත්, රාජාධි රාජසිංහ රජතුමත් කරතොට නායක ස්වාමීන් වහන්සේ පිළිබඳව සැකයක් ඇති කර ගෙන සිටියා.

එවකට හම්බන්තොට ප්‍රදේශයට අධිවේගී මාර්ග නොතිබූ නිසා එහි ගොස් නවාතැන් ගැනීමට ජෝන් ඩොයිලිට සිදු වුණා. එවිට කරතොට නායක ස්වාමීන් වහන්සේගෙන් සිංහල ඉගෙන ගැනීමට පමණක් නොව ගජමන් නෝනා සමග සිංහල භාෂාවෙන් කතා බහ කිරීමටත් ජෝන් ඩොයිලිට හැකියාව ලැබුණා. ඒ හරහායි ඔහුට සිංහල භාෂාව පිළිබඳව මනා පුහුණුවක් ලැබුණේ. එපමණක් නොවේ ඒ කාලයේදී ඇලපාත මුදලිත් සමග ද ගජමන් නෝනාගේ මෙවැනිම සම්බන්ධතාවයක් පැවතුණා. ඩොයිලි මැතිතුමාත්, ඇලපාත මුදලිත් අතර ද සබඳතාවයක් ඇති වුණේ ඒ අනුවයි.

අනතුරුව ඇහැ‍ලෙපොළ නිලමේතුමා ඉංග්‍රීසි පාලනයට එරෙහිව කැරලි ගැසුවේ ඇලපාත මුදලිගේත් ප්‍රදේශය වන සබරගමුවේදියි. පසුව ඇහැලෙපොළ නිලමේගේ විරුද්ධවාදියෙකු වූ මොල්ලිගොඩ අදිකාරම් ද එකඟකරවා ගෙන කැරල්ල මැඩපවත්වා සිංහල රාජධානිය යටත් කර ගැනීමට හැකි වුණේත්, ඇහැලෙපොළ නිලමේතුමා කොළඹට ගෙනැවිත් කතා බහ කිරීමට ජෝන් ඩොයිලිට හැකි වුණේත් කරතොට නායක ස්වාමීන් වහන්සේගෙන් හා ගජමන් නෝනාගෙන් වැඩි දියුණු කර ගත් සිංහල භාෂාව නිසායි.

ඉන් අනතුරුව ඩොයිලි මැතිතුමා උඩරට කොමසාරිස් මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන විට කැප්පොටිපොළ දිසාව ඇතුළු අනෙක් නායකයින් ඇති කළ ජාතිය මුදවා ගැනීමේ සටනේදී ඩොයිලි මැතිතුමාට සහ ඇහැලෙපොළ අදිකාරම්තුමාට හැකියාව ලැබුණා සබරගමුවේ සිටි සියලූම රදලයන්ගේ සහයෝගය ලබාගැනීමට. එවිට එම කැරැල්ල සබරගමුවට නොපැමිණෙන බව ද ඩොයිලි දැනගත්තා. කැරැල්ල ඇති වුණේ සත්කෝරළයේ පමණයි. සබරගමුවට පැමිණියේ නැහැ. ඒ හරහා තමයි මේ රටේ පාලනය ඉදිරියට ගෙනැවිත් තිබෙන්නේ. එතැන කවියයි ඉතිහාසයයි සම්බන්ධවෙලා තිබෙනවා. ඇතැම්විට ඩොයිලි මැතිතුමා කරතොට ස්වාමීන් වහන්සේගෙන් සිංහල ඉගෙන නොගෙන කොළඹදී සිංහල ඉගෙන ගත්තා නම් ලංකාවේ ඉතිහාසය මීට වඩා වෙනස්වීමට හැකියාව තිබුණා.

අපේ කවියා අපේ ඉතිහාසය සමග විශාල සබදතාවක් ඇති කරගෙන තිබෙනවා. අපේ සිංහල භාෂාව ඉගෙන ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති කාලයේ භාෂාව ඉගෙන ගැනීමට සුදුසුම ක්‍රමවේදයක් වූයේ සිංහල කවියයි. විශේෂයෙන්ම පන්සල් ආශ්‍රයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍ය ඉගෙන ගන්නාවිට කවි පාඩම් කිරීමත් එවකට වැදගත් කාර්යයක් ලෙස සැලකුණා.

මහනුවර යුගයේදී බිහිවූ වදන් කවි පොත හරහා තමයි ශිෂ්‍යයන් කවි ඉගෙන ගත්තේ. ඒවා අදටත් භාවිතයට ගන්නවා. අද මට තවත් කවි රාශියකට ඇහුම්කම් දීමට මෙහිදී හැකියාව ලැබුණා. සිංහල කවිය මේ වන විට ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයේ වැදගත්ම අංගයක් ලෙස හැදින්වීමට හැකිවී තිබෙනවා. උදාහරණයක් ලෙස ගම්පෙරළිය චිත්‍රපටයේ කිසිදු සංගීතයක් නොමැතිව ගායනය කෙරෙන දරු නැළවිල්ල හැදින්විය හැකියි. ඒ හරහා කවියට විශේෂ ඉඩක් තිබෙන බව පෙනී යනවා.

අපේ මනෝගනේෂන් ඇමැතිතුමා කවිය භාවිතා කරන්නේ විශේෂයෙන්ම සහජීවනයට. එතුමා සහජීවන ඇමැතිතුමා ලෙස විශාල වැඩකොටසක් කරමින් සිටිනවා. කවිය සහජීවනයට සම්බන්ධවීමට විශාල හේතුවක් තිබෙනවා. සාහිත්‍ය දියුණු වෙන්නේ සාමය ඇතිවිට පමණයි. සාමය නැති නම් සාහිත්‍යත් දියුණු වන්නේ නැහැ.

විශේෂයෙන්ම අපේ රටේ සාහිත්‍ය දියුණු පිළිබඳව සැලකූ විට නිදහසෙන් පසු හැටේ දශකය පමණ වන විට තමයි ශ්‍රී ලංකාවේ සාහිත්‍යයේ විශාල දියුණුවක් ඇති වී තිබුණේ. එදිරිවීර සරත්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති ආදී විශිෂ්ටයන් ගණනාවක් බිහි වුණා. එම දියුණුව අසූව දශකය දක්වාම පැවතුණා. නමුත් ඇතිව තිබූ සාහිත්‍ය දියුණුව යුද්ධය නිසා බිඳවැටුණා. පුර්ණ වශයෙන්ම යුද්ධයට අවතීර්ණ වීමෙන් පසු අනූව දශකයේ සිට අපේ සාහිත්‍ය දියුණුවේ විශාල අඩුවක් දක්නට ලැබුණා. ජාතිවාදය නිසා දෙකොට්ඨාසයේම අන්තවාදය ඇති වුණා. ඒ තුළින් සිංහල සාහිත්‍යයේත්, ද්‍රවිඩ සාහිත්‍යයේත් බිඳවැටීමක් දක්නට ලැබුණා. අන්තවාදය ඇති වන විට විදෙස් සාහිත්‍යට නැඹුරුවීමට එපායැයි පවසනවා. නමුත් විදෙස් සාහිත්‍යයන්හි ආභාෂය මගින් ලංකාවේ නවීන සාහිත්‍ය බිහිවී තිබෙන්නේ.

විදෙස් සාහිත්‍යයේ ආභාෂය තුලින් ඩබ්ලිව්.ඒ. සිල්වා, ජෝන් සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ වැනි සාහිත්‍යධරයන් තම නිර්මාණ දියුණු කර ගත්තා. නමුත් පසුකාලීනව ඒ සහයෝගීතාව බිඳවැටුණා. අවසානයේ දේශපාලනයත්, ජාතිවාදයත් පමණක් ඉතිරි වී නූතන දුටුගැමුණු වැනි දේශපාලන චරිත බිහි වුණා.

දැන් යළිත් සාමය ඇතිවී ඇති නිසා සාහිත්‍යය දියුණු විය යුතුයි. නමුත් අපි මෙම සාමයට පදනමක් ඇති කර ගත යුතුයි. අපි අපේ සංස්කෘති දෙස අවදානය යොමු කරනවා නම් සිංහල සහ ද්‍රවිඩ සංස්කෘති තරම් පැරැණි සංස්කෘති ලෝකයේ නැහැ. බුද්ධාගමත්, පාලි භාෂාවත් හරහා සිංහල සංස්කෘතිය ආරම්භ වී තිබෙනවා. එය විවිධ යුග හරහා පැමිණ කෝට්ටේ යුගයේදී ශ්‍රී ලංකාවේ සාහිත්‍ය දියුණුවෙන් දියුණුවට පත් වුණා. වීදාගම නායක ස්වාමීන් වහන්සේගේ ලෝවැඩ සඟරාව, කෑරගල තොටගමුව පිරිවෙන්, සැළලිහිණි සංදේශය ආදීය ඊට නිදසුන් සපයනවා. ඒ අනුව සිංහල සහ දමිළ සංස්කෘතිය දහනව වන ශතවර්ෂයේ අගභාගයේ සහ විසිවන ශතවර්ෂයේ මුල් භාගයේදී දියුණුවට පත් වූ බව පෙනී යනවා.