SRILANKAN NEWS

අතුරුදහන්වූවන් සොයා දෙන බවට පැවැසූ පුද්ගලයා, පොලිස් භාරයේදී අභිරහස් ලෙස මරුට

– Global Tamil News –

අතුරුදහන්වූවන් සොයා දෙන බවට පැවැසූ පුද්ගලයා, පොලිස් භාරයේදී අභිරහස් ලෙස මරුට

අතුරුදහන්වූ පුද්ගලයන්ව සොයා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකුව යාපනය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර, පොලිස් භාරයේදී ඔහු අභිරහස් ලෙස මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ..

යාපනය නීර්වේලි ප්‍රදේශයේ පදිංචි වයිකුන්දන් නැමැති තරුණයා පසුගිය වසර 10කට පෙර නිවසේ සිටියදී එහි පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ.

ඉන්පසු වයිකුන්දන් ගැන කිසිඳු තොරතුරක් නැතිව තිබූ අතර, පසුගිය වසර පහකට පෙර පැහැර ගැනීමට ලක්වූ තරුණයාගේ නිවසට ලිපියක් ලැබී තිබේ.

එහිදී ඉකුත් තරුණයා වවුනියාවේ පිහිටි ජෝසෆ් කඳවුරේ සිටින බවත්, ඔහුව හමුදා බුද්ධි අංශයේ ස්ටීෆන් නැමැත්තා මඟින් නිදහස් කර ගත හැකි බවත්, ඔහුව මෙම දුරකථනය අංකයෙන් සම්බන්‍ධ කරගත හැකි බවට එම ලිපියෙහි දුරකථන අංකයක්ද සඳහන් කර තිබේ.

පැහැරගෙන යාමට ලක්වූ තරුණයාගේ සහෝදරයකු එම දුරකථන අංකයට ඇමතුමක් ලබාදුන් විට ඉකුත් තරුණයා වවුනියාවේ ජෝසෆ් කඳවුරේ සිටින බවත්, ඔහුව නිදහස් කර ගැනීමට මුදල් අවශ්‍ය බව පවසා තිබේ.

එම මුදල් ලබා දීමට සූදානම් බව පැහැරගෙන යාමට ලක්වූ තරුණයාගේ සහෝදරයා පැවැසීමෙන් අනතුරුව දුරකථනයෙන් කථා කළ පුද්ගලයා නිවසට පැමිණ දෙලක්‍ෂ 37දාහක මුදලක් ලබාගෙන ගොස් තිබේ.

ඉන්පසු එම දුරකථන අංකයෙන් පැහැරගෙන යාමට ලක්වූ තරුණයා යැයි අඟවමින් පුද්ගලයකු නිවසේ පුද්ගලයන් සමඟ කථාබහ කර තිබේ. ඉන් අනතුරුව වෙනත් පුද්ගලයකු අමතා ඉකුත් තරුණයාව නිදහස් කර ගැනීමට නම් තවත් රුපියල් 50 දාහක මුදලක් අවශ්‍ය බව ඉල්ලා තිබේ.

එයට ද පැහැරගෙන යාමට ලක්වූ තරුණයාගේ ඥාතීන් එකඟවූ අතර, පෙර නිවසට පැමිණ මුදල් රැගෙන ගිය පුද්ගලයාම පැමිණ යළි රුපියල් 50 දාහ ලබාගෙන ගොස් තිබේ. ඉන්පසු එම දුරකථන අංකයෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු අතර, කෙටි කලකට පසු එම දුරකථන අංකය වෙනත් පුද්ගලයකු භාවිතා කර තිබේ.

මෙවැනි තත්වයකදී පසුගිය සඳුදා (1) දින පැහැරගෙන යාමට ලක්වූ තරුණයාගේ සහෝදරයා යාපනයට පැමිණ සිටි අවස්ථාවේ තමන්ගේ මුදල් වංචා කළ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටීම දැක වහාම ඔහුව අල්ලා යාපනය පොලිසියට භාරදී පැමිණිල්ලක් ද ගොනු කර තිබේ. යාපනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ද ආරම්භ කර තිබේ.

ඉන්පසු පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයා කෝප්පායි පොලිස් වසමට අයත් පුද්ගලයකු හෙයින් අත්අඩංගුවට ගත් සැකකරුව කෝප්පායි පොලිසියට භාර දෙන බව පවසා යාපනය පොලිසිය විසින් සැකකරුව කෝප්පායි පොලිසියට රැගෙන ගොස් තිබේ.

කෝප්පායි පොලිසියට භාර දෙන විට සැකකරුගේ සෞඛ්‍ය තත්වය දුර්වලවී තිබීම හේතුවෙන් ඔහුව භාර ගැනීමට නොහැකි බව පවසා ඔහුව වහාම රෝහලට ඇතුලත් කරන ලෙස කෝප්පායි පොලිස් ස්ථානාධිපති යාපනය පොලිසියට දැනුම් දී තිබේ.

යාපනය පොලිසිය විසින් සැකකරුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ. ඉකුත් පුද්ගලයා නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත්, දැනට චාවකච්චේරිය නූනාවිල් ප්‍රදේශයේ පදිංචිව සිටින ක්‍රිෂ්ණා නැමැති  57 හැවිරිදි පුද්ගලයා බව හඳුනාගෙන තිබේ.

අතුරුදහන්වූවන් සොයා දෙන බව පවසා මුදල් වංචාවක යෙදුනු චෝදනා මත අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේදී මියගිය සැකකරු හමුදා බුද්ධි අංශය සමඟ සමීපතම සම්බන්‍ධකම් තිබූ පුද්ගලයකු බවත්, බොහෝ දෙනෙකුගෙන් ඔහු මෙලෙස මුදල් වංචාා කර ඇති බවට සැක කරන අතර, ස්ටීෆන් යැයි සඳහන් වූ හමුදා බුද්ධි අංශ නිළධාරිවරයා මෙජර් නිළයේ නිළධාරියකු බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, ඉකුත් පුද්ගලයාව යාපනය පොලිසිය විසින් කෝප්පායි පොලිස් ස්ථානයට රැගෙන යන විට අතර මඟදී කාන්තාවක් පැමිණ එම පුද්ගලයා වෙත බෑගයක් ලබාදුන් බවත්, එහි බෝතලයක තිබූ ද්‍රව්‍යක් පානය කිරිමෙන් ඔහු අසාධ්‍ය තත්වයට පත්වූ බව ද පැවැසේ.

එම කාන්තාව ලබාදුන්නේ කුමක්ද ? ඇය කව්රුන්ද? යැයි පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –