MUSLIMS SRILANKAN NEWS

උතුරු නැගෙනහිර යා කිරීම: මුස්ලිම් ප්‍රතිචාරය

_90713078_muslim බලය බෙදා හැරීමේදී උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකළ යුතු බව නැගෙනහිර පළාතේ මුස්ලිම් සිවිල් සමාජය අවධාරණය කරයි.

මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් තුන නියෝජනය කරන මුස්ලිම් සිවිල් සංවිධානවල සම්මේලනය කල්මුණේ රැස් වූ අවස්ථාවේ එම තීන්දුව ගෙන තිබේ.

උතුරු සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජනතාව ගෙන යන උත්සාහයට මුස්ලිම් ප්‍රජාවේ සහාය ලැබිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය C.V විග්නේශ්වරන් ඉරිදා ප්‍රකාශ කර තිබිණි.

ප්‍රධාන අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සිය යෝජනා අඩංගු ප්‍රකාශනය ශ්‍රී ලංකා රජය, රටේ මුස්ලිම් දේශපාලන නායකත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කරන බවයි මුස්ලිම් සිවිල් සංවිධාන සම්මේලනයේ සභාපති Z.M නදීර් මවුලවීවරයා කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව දෙමළ භාෂාව කතා කිරීම සහ උතුරු සහ නැගෙනහිර පළාත්වල විශාල මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන බව පවසමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිය ඉල්ලීම සාධාරණීකරණය කරයි.

කෙසේ වෙතත් සංස්කෘතික සහ සමාජයීය අනන්‍යතාවය අතින් නැගෙනහිර පළාතේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව උතුරට වඩා වෙනස් වන බවයි Z.M නදීර් මවුලවීවරයා සඳහන් කළේ.

උතුරු සහ නැගෙනහිර පළාත් සභා දෙකේ බහුතර නියෝජනය දෙමළ වුවත් පළාත් දෙකේ වෙසෙන මුස්ලිම් ජනතාවගේ ගැටළු සියල්ල එම ආයතන දෙක විසින්ම විසඳනු ලබන නිසාත් සිය ඉල්ලීමට මුස්ලිම් ජනතාවගේ සහාය ලැබෙනු ඇති බවත් යාපනයේදී රැස් වූ දෙමළ ජාතික සභාව අමතමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබිණි.
උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමෙන් අනතුරුදායක ප්‍රතිපල ලැබිය හැකි බවයි Z.M නදීර් මවුලවීවරයා පෙන්වා දෙන්නේ.

‘නැගෙනහිර පළාතේ සියයට තිස් නවයක් දෙමළ ජනතාව ජීවත් වෙනවා. සියයට තිස් හතක් මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. නැගෙනහිර පළාත උතුරු පළාත සමග යා කිරීමට කටයුතු කළොත් මුස්ලිම් ජනතාව සියයට දාහත දක්වා පහත වැටීමේ අනතුරුදායක තත්වයක් ඇති වෙන්න පුළුවන්.’

ලෝකයේ කුමන හෝ රටක ජීවත් වන වාර්ගික ජන ප්‍රජාවක් තමන් ජීවත් වන පළාත තුළ සුළු ප්‍රතිශතයක් වීමට අකමැති බවත් මවුලවීවරයා පවසයි.

ඉතිහාසයේ නැගෙනහිර පළාත වෙනම පළාතක් වශයෙන් පැවති බවත් ඉන්දු ලංකා ගිවිසුමෙන් අනතුරුව එම තත්වය වෙනස් වූ බවත් Z.M නදීර් මවුලවීවරයා සඳහන් කළේය.

‘ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කොට තිබුණ කාලයේ අත්දැකීම් සහ වසර විස්සක් යුද්ධය පැවති කාලයේ මුහුණ දුන් අත්දැකීම් නිසා අපි ෆෙඩරල් ක්‍රමයට විරුද්ධයි. මොකද බලය බෙදා හැරීමේදී අපි සුළුතරය බවට පත් වේවි.’ මවුලවීවරයා වැඩිදුරටත් පැවසීය.

BBC Sinhala
– ග්ලෝබල් දෙමළ පුවත් –