WORLD NEWS

ඇමරිකානු නිලධාරීන් නෙරපන්නේ නැහැ – පුතින්

කිසිදු ඇමරිකානු තානාපති නිලධාරියෙකු නෙරපා නොහරින බව රුසියානු ජනාධිපති ව්ලදමීර් පුතින් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රුසියාවේ සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් තිස් පස්දෙනෙකු නෙරපා හරින ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය ඔහුගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.

ඊ මේල් පණිවුඩ

ඇමරිකාවෙන් නෙරපා හරිනු ලැබූ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සංඛ්‍යාවට සමානවන පරිදි රුසියාවේ සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් තිස් පස් දෙනෙකු නෙරපා හරින ලෙස ජනාධිපති පුතින්ට එරට විදේශකටයුතු අමාත්‍යාංශය යෝජනා කළේය.

රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙරපා හැරීමට වොෂින්ටනය පියවර ගත්තේ ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ ඊමේල් පණිවුඩ සොරාගත් බවට රුසියාවට චෝදනා එල්ලවීමෙන් පසුවය.

එකට එක කිරීමක්

ඒ අනුව ඇමරිකාව ගත් පියවරට එකට එක කිරීමක් ලෙස ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් නෙරපාහරින ලෙස ජනාධිපතිවරයාට යෝජනා කළ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රොව් රුපවාහිනිය ඔස්සේ නිවේදනය කළේය.

“මොස්කව් වල තියන ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන තිස් එක් දෙනෙකු සහ ශාන්ත පීටර්ස්බර්ග් හි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන හතරදෙනෙකු නෙරපා හරින ලෙසට මෙන්ම සේරිබ්‍රයානි උද්‍යානයේ නිවාස සහ දොරෝෂන්යා හි ඇති ගබඩා ගොඩනැගිල්ල ඇමරිකානුවන්ට තහනම් කරන ලෙස අපි රුසියානු ජනාධිපතිවරයාට යෝජනා කරනවා. මෙම යෝජනාවට ඉක්මන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඔහු පැවසීය.

එහෙත් එයට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති පුතින් ප්‍රකාශ කළේ රුසියානු තානාපති නිලධාරීන් පිරිසක් ඇමරිකාවෙන් නෙරපනු ලැබීමට කෙසේ පිළිතුරු දෙන්නේදැයි තීරණය කිරීමට පෙර ඩොනල්ඩ් ට්‍රුම්ප් ඇමරිකාවේ ජනාධිපති පදවිය භාර ගන්නා තෙක් ඉවසීමට තමන් බලාපොරොත්තු වන බවය.

– බීබීසී සිංහල –