SRILANKAN NEWS

නැගෙනහිර පළාතේ යළි හින්දු කෝවිල්වලට ප්‍රහාර

නැගෙනහිර පළාතේ නාඳුන පිරිසක් විසින් හින්දු කෝවිලක පිළිමයක් කඩා විනාශ කර ඇති අතර, තවත් කෝවිලක කරඩුව ද විනාශ කර තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිලාවෙලි ප්‍රදේශයේ කූලාවඩි පිල්ලයාර් කෝවිල සහ පත්තිනි අම්මන් කෝවිලට මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කූලාවඩි පිල්ලයාර් කෝවිලේ තැන්පත් කර තිබූ පිල්ලයාර් පිළිමය කඩා අසල පිහිටි ඉඩමක දමා ගොස් ඇති බව පැවැසේ. පත්තිනි අම්මන් කෝවිලේ කරඩුව ද විනාශ කර තිබේ. ජාතීන් අතර නොසන්සුන් තත්වයක් ඇති කිරීමේ අරමුණින් මෙවැනි ක්‍රියාවක් සිදු කර ඇති බවට ප්‍රදේශවාසීන් පවසති. සිද්ධිය සම්බන්‍ධයෙන් කෝවිල් පරිපාලකයන් විසින් පොලිසියට පැමිණිළි කර තිබේ.

පසුගිය දෙසැම්බර් 18 වනදා මඩකළපුව වාකනේරි ශ්‍රී සිත්ති විනායකර් කෝවිලටද පහරදී එහි තිබූ පිල්ලයාර් පිළිමයට හා දේපළවලට අලාභ හානි සිදුකර තිබුණි.