SRILANKAN NEWS

පීඩාවට පත්වූවන්ට යුක්තියක් ඉල්ලා සිටින්නෙමු, පලිගැනීමට නොවේ! – සම්බන්‍ධන්

යුද්දයේදී අණ දුන් පුද්ගලයන් අපරාධවලට වගකිව යුතු බව පවසා ඇති විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා, අපි පීඩාවට පත්වූවන්ට යුක්තියක් ඉල්ලා සිටින්නෙමු එය හැර පලිගැනීමකට උත්සහ නොකළ බව සඳහන් කර තිබේ.

සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් නිර්දේශ වාර්තාව ඊයේ දින ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී එළිදැක්වීමෙන් අනතුරුව එහි අදහස් ප්‍රකාශ කරමින් සම්බන්‍ධන් මහතා මේ බව පවසා තිබේ.

තවද යුද අපරාධ පරීක්‍ෂණවලට ජාත්‍යන්තර විනිසුරුවරුන් පත් කර ගැනීමට නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබීම පෙන්වාදුන් සම්බන්‍ධන් මහතා, ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය තිබෙන බව සිතා ජනාධිපතිවරයා එලෙස පවසා තිබිය හැකි බවත්, කෙසේ නමුත් පරීක්‍ෂණ යාන්ත්‍රණය විශ්වාසනීය භාවයෙන් යුතුව පිළිගැනීමට පීඩාවට පත්වූ පාර්ශවය ප්‍රතික්‍ෂේප කරන්නේ නම්, පරීක්‍ෂණ යාන්ත්‍රණය පිහිටුවීමේ අරමුණ ඉටුනොවන බව හෙතෙම පවසා තිබේ.

යුද අපරාධ පරීක්‍ෂණ ගැන හමුදාව භීතියට පත්ව සිටින බව පවසා සිටි සම්බන්‍ධන් මහතා, යුද කාලයේ සිඳුවූ ලිංගික වදහිංසා සහ භාරවූවන් ඝාතනය කිරීමේ අපරාධවලට වගකිව යුත්තේ හමුදාව බවද අවධාරණය කර තිබේ.