SRILANKAN NEWS

හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුමට අත්සන් කරනවා – මලික් සමරවික්‍රම

හම්බන්තොට වරාය පිළිබඳ තවත් සති දෙකක පමණ කාලයකින් සියලු අවබෝධතා ගිවිසුම් අත්සන් කොට අවසන් කරන බව උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

අද (05) මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.3ක් වැය වී තිබෙනවා. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය අනුව එතරම් විශාල ණය මුදලක් ගෙවීම අපහසුයි.

මෙතරම් විශාල මුදල් වියදම් කිරීමේ දී ආදායම ලබන්නේ කෙසේද යන්න පිළිබඳව සැලසුමක් තිබිය යුතුයි. නමුත් පසුගිය රජය මෙම ව්‍යාපෘති කිසිඳු සැලසුමකින් තොරවයි ඉදිකොට ඇත්තේ. එකතු කළ අගය මත බද්ද වුවත් වැඩිකිරීමට සිදු වූයේ මේ නිසයි. වගකීමක් ඇති රජයක් ලෙසට අපට මේ දෙස බලාසිටිය නොහැකියි. ඒ සඳහා විකල්පයක් සෙවිය යුතුයි. ඒ නිසයි අපට චීන රජයේ සහාය ලබාගැනීමට සිදුවිය.

එලෙස චීන රජය විසින් යෝජනා කළ සමාගම් දෙකින් ඉදිරිපත් කළ යෝජනාවන් ආර්ථික කමිටුවේ දී සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස හවුල් බදු ගිවිසුමකට යාමට කටයුතු කළ බවත් කී අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා තවත් සති දෙකක පමණ කාලයකින් සියලු අවබෝධතා ගිවිසුම් අත්සන් කොට අවසන් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.