SRILANKAN NEWS

අපි වෙනම රාජ්‍යය අතහැරියා, ඔබ ඒකීය රාජ්‍යය අත හරින්න – TNA

එක්සත් ශ්‍රී ලංකාවක් තුල උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ ෆෙඩරල් රාජ්‍ය ව්‍යවස්ථාවක් ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවට බල කිරීමට දෙමළ ජාතික සන්ධානයට අයත් සියලුම දේශපාලන පක්ෂ තීරණය කර තිබේ.

ඒ වෙනුවෙන් රජය සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවට තමිල් අරසු කච්චි, ඊළම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊපීආර්එල්එෆ්), දෙමළ ඊළම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සහ දෙමළ ඊළම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්) යන දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ නායකයන් එකඟ වී තිබෙන්නේ කිරීමට සිකුරාදා කොළඹ විපක්ෂ නායක නිල නිවසේ පැවති විශේෂ රැස්වීමකදීය.

රැස්වීමෙන් පසු විපක්ෂ නායක ආර් සම්බන්ධන් කියා සිටියේ දේශපාලන විසඳුමක් සම්බන්ධ අදහස් නිදහසේ සාකච්ඡා කෙරුනු දෙමළ පක්ෂ නායක හමුව සාර්ථකව නිමාවූ බවයි.

ඒකාබද්ධ උතුරු නැගෙනහිරක් සහිත ෆෙඩරල් පන්නයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ දෙමළ ජාතික සන්ධානයට ඒ වරම අත්හල නොහැකි බවයි ඊපීආර්එල්එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මාධ්‍යවේදීන් හා කියා සිටියේ.

එහිදී, දෙමළ දේශපාලන පක්ෂ විසින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටීම සම්බන්ධයෙන් රජයද එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්විය යුතු බව ඊපීආර්එල්එෆ් නායකයා අවධාරණය කළේය.

බලය බෙදීම

“අපි වෙනම රාජ්‍ය ඉල්ලීම අත ඇරලයි තියෙන්නේ. එහෙම නම් ආණ්ඩුව ඒකීය ව්‍යවස්ථාව අතහැර දමා ෆෙඩරල් ක්‍රමයකට එකඟ විය යුතුයි,” ඔහු කියා සිටියේය.

“උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකර සිදුකරන කිසිම බලය බෙදීමක් හෝ විමධ්‍යගත කිරීමක් ගැන අපිට එකඟ වෙන්න බෑ. ඒ සමග ෆෙඩරල් රාජ්‍ය ව්‍යුහයක් ගැන දෙමළ ජාතික සන්ධානය රජය හා සාකච්ඡා කළ යුතුයි.”

අනාගමික රාජ්‍යයක්

වර්තමාන ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්ථානය වෙනස් කළ නොහැකි නම් හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් බහුතරයක් සිටින උතුරු නැගෙනහිර හෝ එම තත්වය වෙනස් කළ යුතු බවට ද ඔහු ඉල්ලා සිටියේය.

“අපි අනාගමික ශ්‍රී ලංකා රාජ්‍යයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ආණ්ඩුව ඒකට සුදානම් නැතිනම් අඩුම වශයෙන් උතුරු නැගෙනහිර හෝ අනාගමික ප්‍රදේශයක් බවට පත් කළ යුතු,” යයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

දිවයිනේ ඒකීය රාජ්‍ය ව්‍යුහය හෝ බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්ථානය හෝ අනාගත ව්‍යවස්ථාවක් මගින් වෙනස් නොකෙරෙන බව ආණ්ඩුව දැඩි සේ සහතික කොට තිබේ.

radiogagana.com