SRILANKAN NEWS

ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලු බලාපොරොත්තු සුන් වෙලා – JVP

ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලු බලාපොරොත්තු සුන්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පැලවත්තහි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (08) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා තිබේ.

අදට මෙම ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වෙනවා. 2015 ජන. 08වැනිදා මේ ආණ්ඩුව පිහිටුවන කොට රටේ ආර්ථිකය, දේශපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ජනතාවට විශාල පොරොන්දු දුන්නා. නමුත් වසර දෙකක් ගතවනවිට ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලු බලාපොරොත්තු සුන් වෙලා.

රට ආර්ථික වශයෙන් අගාධයකට වැටිලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට ආණ්ඩුවේ මැරකම්, චණ්ඩිකම්, ජනතා මර්දනය දියත් කරලා. රටේ සම්පත් කුණුකොල්ලයට විකුණනවා. මහජනතාවට බදු පිට බදු බර පටවන පනත් සංශෝධනය කරගෙන තිබෙනවා. වසර දෙකක් ඇතුළත ජනතාවගේ බලාපොරොත්තු බොඳවෙලා ගිහින්.

ජනතාවගේ බලාපොරොත්තු කිසිවක් ඉටුකරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. ජනතාවගේ අතමිට සරු කරනවා කිව්වට එම ප‍්‍රකාශ පුස්සක් වෙලා. රටේ සම්පත් ටික කුණු කොල්ලයට විදෙස් සමාගම්වලට දෙනවා. ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරගන්නවා. මෛත්‍රී-රනිල් පාලනය ජනතාවගේ අනාගතය සංවර්ධනය කරන්න මැදිහත් වෙලා නැහැ. ඔවුන්ට ඒ වෙනුවෙන් වුවමනාවක් නැහැ. කැපවීමක් නැති බව විජිත හේරත් මහතා වැඩිදුරටත් පවසා තිබේ.