SRILANKAN NEWS

නෙඩියවන්ව ඉන්ටර්පෝල් වෙත භාර දෙන්න බැහැ – නෝර්වේ

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධානියකු වන නෙඩියවන් හෙවත් පේරින්බනායකම් සිවබරන්ව ජාත්‍යන්තර පොලීසිය වෙත භාරදීමට නෝර්වේ රජය ප්‍රතික්‍ෂේප කර ඇති බව වාර්තාවේ.

නෙඩියවන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු පළවී තිබෙන අවස්ථාවක, ඔහුව භාරදෙන්නැයි ඉදිරිපත් කළ ඉල්ලීම නෝර්වේ රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බවට වාර්තාවේ.

නෝර්වේහි එල්.ටී.ටී.ඊ. නායකයා ලෙස නෙඩියවන් කටයුතු කරමින් සිටින බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කිරීමේ කටයුතුවල ද ඔහු නිරතවන බවට චෝදනා එල්ලවී තිබේ.

මේ අතර, සුමන්දිරන් මහතාව ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්‍ධයෙන් එරට පොලිසිය විසින් නෙඩියවන්ගෙන් ප්‍රශ්ණ කර තිබේ. තවද සුමන්දිරන් මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැන වූ පරීක්‍ෂණවලට නිළ වශයෙන් සහාය ඉල්ලා සිටියේ නම් එයට සහාය ලබාදීමට සූදානම් බව නෝර්වේ තානාපති කාර්‍යාලය පවසා තිබීම ද විශේෂත්වයකි.