SRILANKAN NEWS

කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් ජනතාවටම ලබාදිය යුතුයි – සුමන්දිරන්

මුල්ලතිව් කේප්පාපිලවු ජනතාව ඉඩම් යළි ඔවුන්ට ලබාදීමට රජය ලබාදුන් පොරොන්දුව නිසිලෙස ඉටුකළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ඊයේ දින පාර්ලිමෙන්තුවේදී අවධාරණය කර තිබේ.

2009 වසරේ යුද්දය අවසන්වූ පසු උතුරු පළාතේ දෙමළ ජනතාවට අයත් අක්කර දහස් ගණනක ඉඩම්වල හමුදාව බලහත්කාරයෙන් රැඳි සිටියි. හමුදාව මෙලෙස ජනතාවගේ ඉඩම්වල රැඳී සිටීමෙන් ජනතාවට තම ප්‍රදේශවල නැවැත පදිංචිවීමට නොහැකි තත්වයක් පවතියි. තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා ජනතාව දිගින් දිගටම විරෝධතා රැසක් පවත්වා තිබුණි.

මෙවැනි තත්වයකදී 2015 ජනාධිපති මැතිවරණයේදී පොදු අපේක්‍ෂයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව නැවැත පදිංචි කිරීමට පියවර ගන්නා බවට ලබාදුන් පොරොන්දුව මත දෙමළ ජනතාව ඔහුට ජන්දය ලබාදුන්නෝය. නව රජය පිහිටුවා වසර දෙකක කාලයක් අවසන් වූ නමුත් මෙතෙක් නිදහස් කර තිබෙන්නේ සුළු ඉඩම් ප්‍රමාණයකි. නමුත් තවත් විශාල ඉඩම් ප්‍රමාණයක් හමුදාව යටතේ තිබේ.

කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් නිදහස් කරන බවට රජය පොරොන්දු වූ නමුත් එය මෙතෙක් ඉටුනොකිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක නිරතව සිටිති. එමෙන් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතුයැයි ඉල්ලා සිටින බව සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.