SRILANKAN NEWS

සිරකරුවන්ගේ මූලික පහසුකම් දියුණු කිරීමට රජයේ අවධානය

– Global Tamil News –

සිරකරුවන්ගේ මූලික පහසුකම් දියුණු කිරීමට රජයේ අවධානය

දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළ සිර දඩුවම් විදින බන්ධනාගාර සිරකරුවන්ගේ මූලික පහසුකම් දියුණු කර සෑම බන්ධනාගාරයකම සිරකරුවන්ගේ පුනරුත්ථාපන හා මානසික සංවර්ධනයට යෝග්‍ය වන බන්ධනාගාර පද්ධතියක් බවට දියුණු කිරීම  සදහා බන්ධනාගාර අමාත්‍යංශය පියවර  ගෙන ඇත.

මේ සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යං‍ශයේ හා අධිකරණ  අමාත්‍යංශයේ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන විශේෂ කමිටුවක් මගින් කරුණු අධ්‍යයනය කර අවශ්‍ය විසදුම් ලබා දීම සදහා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අධිකරණ අමාත්‍යංශය අවධාරණය කරයි.

එම කමිටුව විසින් දැනට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින සිරකරුවන්ගේ තදබදය අවම කිරීම, සෑම සිරකරුවෙකුගේම මූලික පහසුකම් වැඩි දියුණු කිරීම, බන්ධනාගාර සිරකරුවන්ගේ මානසික සංවර්ධනය සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, බන්ධනාගාරය තුළ රැදවියන් වෘත්තීය කටයුතු වලට යොමු කිරීම, බන්ධනාගාර සිරකරුවන් සදහා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, බන්ධනාගාර සිරකරුවන් සංස්කෘතික හා සෞන්දර්යාත්මක වැඩසටහන් සදහා උනන්දු කරවීම යන කරුණු පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන අතර දැනට බන්ධනාගාර පද්ධතිය තුළ මරණිය දණ්ඩනයට නියම සිරකරුවන් හා ජීවිතාන්තය දක්වා දඩුවම් ලැබූ සිරකරුවන්ගේ යහපත් කල්ක්‍රියා මත දඩුවම් කාලසීමාව සමාලෝචනය කිරීම පිළිබදව ද, මෙම කමිටුව විසින් කරුණු අධ්‍යයනය කරනු ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි.

අධිකරණ විසින් දඩුවම් නියම කරන ලද සිරකරුවන්ගේ අභියාචනා, අධිකරණ කටයුතු ඇතුළු අධිකරණ සේවා වඩාත් පහසුවෙන් ඉටු කර දීම, අධිකරණ සේවා කටයුතු සදහා නීති උපදෙස් හා උපදේශන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම, සිරකරුවන්ගේ සුභසාධන කටයුතු පුළුල් කිරීම ආදි කරුණු පිළිබදව ද මෙම කමිටුව විසින් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්ගේ ආරක්ෂක පහසුකම් දියුණු කිරීම කෙරෙහිද මෙම කමිටුවේ අවධානය යොමු වී ඇත.

මේ වන විට දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළ පිරිමි සිරකරුවන් 7,976ක් හා ස්ත්‍රී සිරකරුවන් 265ක් සමග 8,241ක් දඩුවම් ලබන අතර ඉන් මරණ දණ්ඩනය නියම වූ සිරකරුවන් 313ක් ද, ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූ 442 ක්ද, මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර මෙතෙක් තීරණයක් නොලැබූ 776 දෙනෙකු සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි.

– ග්ලෝබල් දෙමළ පුවත් –