SRILANKAN NEWS

බාධක බිඳ දමා කඳවුර තුළට යාමට පසුබට වෙන්නේ නෑ – කේප්පාපිලවු ජනතාව

මුල්ලතිව් කේප්පාපිලවු ග්‍රාම සේවා වසමට අයත් පිලක්කුඩිඉරුප්පු ජනතාව පවත්වාගෙන යන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 14ක් අවසන්වී තිබේ.

ජනතාවගේ ඉඩම් අත්පත් කර ඉදිකර තිබෙන ගුවන් හමුදා කඳවුර සහ යුද හමුදා කඳවුර ඉවත්කර තම ඉඩම් යළි ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය ජනවාරි 31 වනදා සිට එම ජනතාව ආරම්භ කළ අරගලය පින්න, වැස්ස නොතකා අඛණ්ඩව පවතියි. කෙසේ නමුත් රජය විසින් මෙතෙක් එම ජනතව කිසිඳු පිළිතුරක් ලැබී නැත.

මෙවැනි තත්වයකදී බාධක බිඳ දමා කඳවුර තුළට යාමේ දිනය වැඩි ඈතක නොමැති බවත්, එමඟින් සිඳුවන හානියට රජය වගකීමට සූදානමින් සිටිය යුතු යැයි එම ජනතාව පවසා තිබේ.

ජනතා අරගලයට පිට දිස්ත්‍රික්කවල විවිද සංවිධාන සහාය පළ කර සිටින අතර, දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන නියෝජිතයන් ද ඉකුත් ප්‍රදේශයට පැමිණ සහාය පළ කරමින් සිටියි.

මේ අතර, පිලක්කුඩිඉරුප්පු ජනතාවට සහාය පළ කරමින් හමුදාව යටතේ තිබෙන ජනතාවගේ ඉඩම් නිදහස් කරන්නැයි අවධාරණය කර පුදුකුඩිඉරුප්පු ජනතාව විසින් පවත්වාගෙන යන විරෝධතාවයට අදට දින 11කි. පුදුකුඩිඉරුප්පු කඳවුර ඉවත්කර ජනතාවගේ ඉඩම් නිදහස් කරන බවට පසුගිය සතියේ අරලිය ගහ මන්දිරයදී පැවැති සාකච්ඡාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණි. කෙසේ නමුත් ඉකුත් පොරොන්දුව ඉටුකරන තෙක් තම අරගලය පවත්වාගෙන යන බවට එම ජනතාව පවසා තිබීම විශේෂත්වයකි.