SRILANKAN NEWS

හම්බන්තොට ඉඩම් සඳහා අරගලය කළ සිංහල ජනතාව කේප්පාපිලවු දෙමළ ජනතාව ගැන ද දැනගත යුතුයි – මනෝ ගනේෂන්

හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 1500ක ඉඩම් රජය පවරා ගැනීමට යනවා යැයි පැතිර ගිය කට කථාවකටම පාරට බැස දැවැන්ත විරෝධතා පැවැත්වූ සිංහල ජනතාව අදට දින 15ක් තිස්සේ තම ඉඩම් වෙනුවෙන් සත්‍යග්‍රහයක නිරතව සිටින දෙමළ ජනතාව ගැනද දැනගත යුතු යැයි ප්‍රජාතන්ත්‍රික ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසා තිබේ.

ඊයේ දින ගුවන් විදුලි නාළිකාවක පැවැති සජීවී සංවාදයකට එක්වෙමින් ජාතික සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනේ ගනේෂන් මහතා මේ බව පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, හම්බන්තොට ප්‍රදේශයෙන් අක්කර 1500ක පුද්ගලික ඉඩම් රජයට පවරා ගන්නා බවට හුදෙක් කට කථාවක් පැතිර යාමෙන් අනතුරුව එයට විරුද්ධව විපක්‍ෂ සියල්ල එක්වී ජනතාව එක්රැස් කර විරෝධතා පැවැත්වූ. හිමිවරුන් එයට නායකත්වය දුන් අතර දහස් ගණනක ජනතාව ද පාරට බැස විරෝධතා කළෝය. රාජ්‍ය දේපළවලට අලාභ හානි සිදු කළ අතර, එහිදී අත්අඩංගුවට පත්වූවන් තවඳුරටත් රක්‍ෂිත බන්‍ධනාගාර ගතව සිටිති. නමුත් එහිදී ඉඩම් පවරා ගැනීම යන කාරණාව අවසන්වුණි.

කේප්පාපිලවු නැමැති මුල්ලතිව් දිස්ත්‍රික්කයේ මව්වරුන්, කුඩා දරු දැරියන් ඇතුලත් දෙමළ ජනතාව පසුගිය දින 15ක කාලයක් පාරට බැස අරගලයක නිරතව සිටිති. ඔවුන්ගේ අරගලය ඉතා සාමකාමී අරගලයක් ලෙස පවත්වාගෙන යමින් සිටිති. අව්ව, වැස්ස, පින්න නොතකා කුඩා දරුවන්, මව්වරුන් සමාකාමී ලෙස සටන් කරමින් සිටිති. එම ජනතාව ගැන සිංහල ජනතාව සොයා බලා දැනගත යුතුයි. තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා එම ජනතාව විසින් පවත්වාගෙන යන සාමකාමි අරගලය ගැන දැනගත යුතුයි.

එම අරගලය ගැන රටතුල පමණක් නොව ජාත්‍යන්තරය ද දැනගත යුතුයි. එමෙන් තවත් දින කිහිපයකින් මම එහි යාමට තීරණය කළෙමි. එහි යෑමට පෙර සියළු දෙනා දැනුවත් කරන බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.