SRILANKAN NEWS

දෙමළ ජනතාවට තම කටයුතු තමන් විසින්ම හැසිරවීමට ඉඩ දිය යුතු – සම්බන්‍ධන්

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවට තම කටයුතු තමන් විසින්ම හැසිරවීමට ඉඩ ලබා දිය යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා අවධාරණය කර සිටියි.

මෙරටට පැමිණ සිටින අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ පොප් කුට්ලට් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් පිරිස සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමඟ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්‍යාලයේදී ඊයේ 24 දින පැවැති සාකච්ඡාවකදී සම්බන්‍ධන් මහතා මේ බව පවසා තිබේ.

යුද්දය හේතුවෙන් පසුගිය වසර 30ක කාලයක් පීඩාවට පත්වූ දෙමළ ජනතාවට ඇමරිකාව හැකි ආකාරයකින් උදව් කළ යුතු යැයි සම්බන්‍ධන් මහතා එහිදී ඉල්ලා තිබේ.

දෙමළ ජනතාවගේ ස්ථාවරය ගැන ඇමරිකාවේ අදාළ නිළධාරින් සහ ශ්‍රී ලංකා ජනාපතිවරයා වෙත ද ඉදිරිපත් කරන බවට අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිතයන් සහතිකවී තිබේ.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන්, මාවයි සේනාදිරාජා, සෙල්වම් අඩයිකලනාදන්, දර්මලිංගම් සිද්ධාර්තන්, එම්.ඒ. සුමන්දිරන් යන මන්ත්‍රීවරුන් ද සහභාගිවී තිබේ.