SRILANKAN NEWS

පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් නිදහස් කරයි

මුල්ලතිව්, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ තම ඉඩම් නිදහස් කරන ලෙස ජනතාව අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින අතර, ඉන් පළමු අදියරය ලෙස ඉඩම් අක්කර හතක් නිදහස් කිරීමට ඇති බව පැවැසේ. පසුගිය 2 වනදා සිට ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය 14වනදා පටන් චක්රීය උපවාස විරෝධතාවක් ලෙස වෙනස්වුණි.

පුදුකුඩිඉරුප්පු ප්‍රාදේශිය ලේකම් කොඨාශයේ පවුල් 49කට අයත් අක්කර 19ක ඉඩම් ප්‍රමාණයක් හමුදාව විසින් අත්පත්කරගෙන තිබුණි. වසර 60කට පමණ කාලයක් ඉකුත් ඉඩම්වල ජීවත්වූ ජනතාව 2009 වසරේ පැවැති යුද්දය හේතුවෙන් අවතැන්ව ගොස් යළි සිය ගම්බිම්වලට පැමිණි විට තම ඉඩම් හමුදාව විසින් අත්පත්කරගෙන තිබේ.

තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා එම ජනතාව අවස්ථා ගණනාවක් විරෝධතා කළ නමුත් බළධාරීන් විසින් නිසි පියවරක් නොගැනීම හේතුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.

මෙවැනි තත්වයකදී ඊයේ සෙනසුරාදා දින අක්කර 7.5ක ඉඩම් නිදහස් කළ හමුදාව, ඉතුරු ඉඩම් තවත් මාස තුනකින් ද, පොන්නම්බලම් රෝහල පිහිටා තිබූ ඉඩම මාස හයකින් ද නිදහස් කරන බව පවසා තිබේ.