WORLD NEWS

සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් 42ක් මරුට

උතුරු සිරියාවේ කැරළිකරුවන්ගේ පාලනයේ පවතින ගම්මානයක පිහිටා ඇති මුස්ලිම් දේවස්ථානයකට එල්ලවූ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 42 දෙනෙකු මරණයට පත්වූ බව විමර්ශක කණ්ඩායමක් පවසයි.

මියගිය පිරිසෙන් වැඩිදෙනා සාමාන්‍ය වැසියන් බව වාර්තාවේ.

සිරියාවේ මානවහිමිකම් පිලිබඳ විමර්ශකයින් පැවසුවේ අලෙප්පෝ පළාතේ අල්-ජිනේහිදී මෙම ගුවන් ප්‍රහාරය එල්ලවී ඇති බවය.

එම ප්‍රදේශයේ රුසියානු සහ සිරියානු ගුවන්යානා මෙහෙයුම්වල නිරතවී සිටින අතර ඇමරිකානු යුද ගුවන් යානා කලාපයේ සිටින ජිහාඩ්වාදීන් ඉලක්කකර පහරදීම්වල යෙදේ.

ඇමරිකාව පැවසුවේ තමන් එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් අල්කයිඩා සටන්කරුවන් පිරිසක් මරාදැමුනු නමුත් මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාර එල්ල නොකළ බවය.

ඉද්ලිබ් පළාත ආසන්නයේ ගුවන්ප්‍රහාර එල්ල කෙරුනු බව ඇමරිකානු හමුදා මුලින් පැවසුවද එම ස්ථානය නිශ්චිතවම පැවසිය නොහැකි බව පසුව සඳහන් කළේය.

“අපි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කළේ නැහැ. ඒත් අපි ඉලක්ක කළ ගොඩනැගිල්ල සන්නද්ධ කණ්ඩායම් රැස්වන තැනක්. ඒක දේවස්ථානයේ ඉඳල අඩි 50 ක් විතර දුරින් තිබුනෙ. ඒක තවම තියෙනවා” යනුවෙන් හමුදා ප්‍රකාශක කර්නල් ජෝන් ජේ තෝමස් පැවසීය.

ගැටුම් පවතින භූමියේ සිට තොරතුරු ලබාගන්නා බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන විමර්ශක කණ්ඩායම පැවසුවේ ගුවන් ප්‍රහාර එල්ලවන මොහොතේ අල්-ජිනේ මුස්ලිම් දේවස්ථානය සැන්දෑ සමයේ යාඥා සඳහා බැතිමතුන්ගෙන් පිරී පැවති බවය.

– බීබීසී සිංහල –