SRILANKAN NEWS

මහ ඇමැතිවරයාගේ දෙපා වැටී හඬා වැළපුණු අතුරුදන්වූවන්ගේ ඥාතීන්

කිලිනොච්චියේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවූ උතුරු පළාත් මහ ඇමැති සී.වි. විග්නේෂ්වරන් මහතාගේ දෙපා වැටී තම අතුරුදන්වූ ඥාතීන්ව සොය දෙන්නැයි හඞා වැළපුණු සිද්ධියක් අද ඉරිදා දින සිඳුව තිබේ.

අද 28 වන දිනටත් විරෝධතාවෙහි නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව පෙරවරු 8ට පමණ හමුවූ උතුරු පළාත් මහ ඇමැතිවරයා, ඔවුන් සමඟ සාකච්ඡා කළ අතර, අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ ලිපිය ද භාර ගත්තේය.

එහිදී තම ඥාතීන්ව නිදහස් කර ගැනීම සඳහා ඔබතුමා ඉදිරිපත්විය යුතු බවත්, තමන් වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් මහ ඇමැතිවරයාගේ දෙපා වැටී ඉල්ලා සිටියෝය.

එහිදී අදහස් ප්‍රකාශ කළ මහ ඇමැතිවරයා, ඔබලාගේ මෙම විරෝධතාවය සාධාරණීය බවත්, අතුරුදන්වූවන් පිළිබඳව තමන් විවිද මට්ටමේ සාකච්ඡා කරමින් සිටින බවත් අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම් වාර්තාව කඩිනමින් නිකුත් කරන ලෙස රජයට බල කරන බවද පවසා සිටියේය.