SRILANKAN NEWS

දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයට අයත් ඉඩම රූපවති හමුදාවට ලබාදුන්න – ශ්‍රීදරන් හමුදාව සතුව තිබූ ඉඩම නිදහස් කර දුන්නේ මම – රූපවති

දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයට අයත් ඉඩම හමුදාවට ලබාදුන්නේ හිටපු දිස්ත්‍රික්ක ලේකම් රූපවති යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රී දරන් මහතා පවසා තිබෙන අතර, හමුදාව සතුව තිබූ ඉකුත් ඉඩම නිදහස් කර දුන්නේ තමන් යැයි හිටපු දිස්ත්‍රික්ක ලේකම්වරිය පවසා තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයට අයත් ඉඩම කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම්වරිය අත්තනෝමතිකව හමුදාවට ලබාදුන් බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රීදරන් මහතා චෝදනා කළේය. නමුත් හමුදාව සතුව තිබූ කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයට අයත් ඉකුත් ඉඩම නිදහස් කර එහි නව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදි කළේ තමන් බවත් මෙය සාවද්‍ය කතාවක් බව ශ්‍රීදරන් මහතාගේ කතාව එම වේදිකාවේදීම කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් රූපවති කේදීස්වරන් මහත්මිය ප්‍රතික්‍ෂේප කළාය.

ඊයේ (19) දින කිලිනොච්චිය ඉරණමඩු නෙළුම් පොකුණ ශාලාවේදී පැවැති නිල මෙහවර ජනපති මහජන සේවා ජාතික වැඩසටහනේ උත්සවය අමතමින් ශ්‍රීදරන් මහතා මේ බව පවසා සිටියේය, එහිදී දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයට අයත් ඉඩම ලේකම්වරිය අත්තනෝමතිකව හමුදාවට ලබාදුන් බවත්, ඇය දිස්ත්‍රික්ක සම්බන්‍ධිකාරක කමිටුවට පවා නොදන්වා එය ලබාදී ඇති බවත්, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ ඉඩමක හමුදා කඳවුරක් ඉදිකර තිබෙන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පමණක් බව ශ්‍රීදරන් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ චෝදනා කළේය.

මෙවැනි තත්වයකදී මන්ත්‍රීවරයා සියළු දෙනා ඉදිරියේ සාවද්‍ය කතාවක් පවසා සිටින බවට කුපිතවූ දිස්ත්‍රික්ක ලේකම් රූපවති කේදීස්වරන් මහත්මිය, රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති, පාර්ලිමෙන්තු මන්ත්‍රීරුන් සහ නිළධාරීන් ඉදිරියේදීම ‘මන්ත්‍රීවරයා කිසිඳු පදනමක් නැති සාවද්‍ය කතාවක් පවසා සිටිනවා, හමුදාව යටතේ තිබූ ඉඩම නැවැත ලබාගෙන එහිදී කිලිනොච්චිය නව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිකිරීමට දායකත්වය ලබාදුන්නේ මමයි, දැනට දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය පිහිටා තිබෙන ඉඩමේ විශාල ප්‍රමාණයක් හමුදාව යටතේ තිබුණු බව ඔබතුමා හොඳින් දන්නවා, එලෙස තිබූ ඉඩම නිදහස් කර හමුදාව එක් පැත්තකට කරා විශාල ඉඩම් ප්‍රමාණයක් නිදහස් කළා‘ යැයි ඇය පවසා සිටියාය.

එහිදී නිළධාරීන්, මන්ත්‍රීවරුන් සහ ජනතාව බලා සිටියදීම දෙදෙනා අතර උණුසුම්කාරි තත්වයක්ද ඇතිවුණි.