SRILANKAN NEWS

මානව හිමිකම් සුරක්ෂිත රටක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර අනුගමනය කරනවා – හර්ෂ ද සිල්වා

මානව හිමිකම් සුරක්ෂිත රටක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර අනුගමනය කරන ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සමඟ කවුන්සිලයේ 34 වන සැසි වාරය අමතමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව පවසා තිබේ. එහිදී ඔහු විසින් ඉදිරිපත් කළ සම්පූර්ණ කතාව පහත සඳහන්ය.

සභාපතිතුමනි
මහ කොමසාරිස්තුමනි,
නියෝජ්‍ය මහ කොමසාරිස් තුමියනි,
සම්භාවනීය අමුත්තනි,
නෝනාවරුනි, මහත්වරුනි,

සළකා බලන ලද කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව විසින් ඉටුකරන ලද කාර්යයන් සහ අත්පත් කරගත් ජයග්‍රහණ බොහොමයක් කෙරෙහි අවධානය යොමු කරමින් සකස් කරන ලද වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම මහ කොමසාරිස්වරයාට ස්තූතිවන්ත වෙමි.

මෙම කවුන්සිලය දන්නා පරිදි, පෙබරවාරි මස 28 වන දින ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම කවුන්සිලය අමතමින්, 30/1 යන යෝජනාවට අදාළව සහ එයින් ඔබ්බට යමින් ඉටුකරන ලද කාර්යයන්, තවදුරටත් සිදු කිරීමට තිබෙන ක්‍රියාමාර්ග හා මෙහිදී අප මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ඔබ සැම දැනුවත් කරන ලදී.

විශේෂයෙන්ම, සංහිඳියාව ඇති කිරීම පිණිස වන ශ්‍රී ලංකාවේ අරමුණ කිසිඳු අඩුවකින් තොර බවත්, මේ පිළිබඳ අප නොසැලී, ධෛර්යමත් ලෙස ක්‍රියා කරන බවත් ඔහු ප්‍රකාශ කරන ලදී. අප රටේ ජීවත්වන සියළු ජනතා සමඟත්, ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිටින අපගේ හිතමිතුරන් හා අපගේ හවුල්කරුවන්ගේත්, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේත් උපකාරය ඇතිව, ඉවසීමෙන්, අවබෝධයෙන් සහ නිරන්තර හා අඛණ්ඩ උත්සාහය තුළින් සංහිඳියා ක්‍රියාවලිය යතාර්ථයක් බවට පත්කිරීමටත්, සමාජ ආර්ථික සංවර්ධනයේ නවමු මට්ටමක් කරා අපගේ ජාතිය රැගෙන යාම සඳහාත් සාමකාමීව කටයුතු කරන එක්සත්, ප්‍රගතිශීලී සමාජයක් ගොඩනැගීමට හැකිවනු ඇතැයි අපි දැඩිව විශ්වාස කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

ජිනීවා යෝජනා 30/1 හි සඳහන් කරුණු හා සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන අපගේ කැපවීම යළි යළිත් සහතික කිරීමට සහ අපගේ අරමුණ පිළිබඳ නැවත ප්‍රකාශ කර සිටීමටත් මම අද මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙම කවුන්සිලය දන්නා පරිදි, ශ්‍රී ලංකාව, 30/1 යෝජනා වෙහි කාලය වසර 02කින් දීර්ඝ කිරීම පිළිබඳ වන යෝජනාවක් සඳහා එක්සත් ජනපදය සමඟ හා අනෙකුත් 30/1 යෝජනාවෙහි ප්‍රධාන සම අනුග්‍රාහකයන් වන එක්සත් රාජධානිය, මැසිඩෝනියාව හා මොන්ටෙනීග්‍රෝ සමඟ කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාව මෙම යෝජනාවේ සම අනුග්‍රාහකත්වය දරන බව ප්‍රකාශ කිරීමට අපි කැමැත්තෙමු. ශ්‍රී ලංකාව තුළ සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහාත් මෙම 30/1 ජිනීවා යෝජනාවේ කාලය වසර 02කින් දීර්ඝ කිරීම සඳහාත් සහාය ලබාදුන් මෙම කවුන්සිලයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ අපගේ ද්වි පාර්ශවික හවුල්කරුවන්ට අපි ස්තූතිවන්ත වෙමු. සංහිඳියා ක්‍රියාවලිය, වගවීම හා මානව හිමිකම් සුරැකීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජාතික සමගි රජයේ කැපවීම අගය කරමින් ශ්‍රී ලංකා රජය විසින් මේ සම්බන්ධයෙන් ගැනීමට අදහස් කරන ශ්‍රී ලංකා රජයේ මූලිකත්වයෙන් කරනු ලබන විශ්වාසනීය ක්‍රියාවලි සහ ක්‍රියාමාර්ග සම්බන්ධ යෝජනා මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේ ඉදිරිපත් කළ අවස්ථාවේ, එම යෝජනාවන් පිළිගනිමින්, එම යෝජනාවන් අන්තර්ගත වූ 30/1 යෝජනාව සම්මත කර ගැනීමට සහයෝගය දැක්වීම අපි විශේෂයෙන් අගය කරමු.

සභාපතිතුමනි,
මහ කොමසාරිස්වරයා හා ඔහුගේ කාර්යාලය සමඟ අපි සමීපව කටයුතු කරමු. අප රටේ සියළු ජනතාවගේ යහපත උදෙසා මෙම සාධනීය හා අර්ථවත් සම්බන්ධතාවය අඛණ්ඩව සිදු කරගෙන යාමට අපි කැපවී සිටින්නෙමු. මානව හිමිකම්, යහ පාලනය සහ නීතියේ ආධිපත්‍ය ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත් ආරක්ෂා කිරීමටත් අපි කටයුතු කරන බැවින් මහ කොමසාරිස්වරයාගේ අදහස්, නිරීක්ෂණ හා නිර්දේශයන් අපට ප්‍රයෝජනවත් වේ.

කිසිදු රටක මානව හිමිකම් සම්බන්ධයෙන් වන වාර්තා පරිපූර්ණ නොවන බව මෙම කවුන්සිලය දනී. එය සෑම විටම නොනිමි කටයුත්තක් ලෙස පවතින අතර ඒ සඳහා කැපවීමෙන් නොකඩවා කටයුතු කිරීම වැදගත්වේ. ශ්‍රී ලංකාවේ ජනතාව අතිශය අසීරු, වේදනාත්මක කාලයක් පසුකර ඇත. පශ්චාත් යුධ සමයේ ඉටුකළ යුතු කාර්යයන් රැසක් ඉටුකර ඇති නමුත් අපගේ ආයතන ශක්තිමත් කිරීම සහ ආර්ථික වර්ධනය ඇතුළුව කාර්යයන් රාශියක් තවදුරටත් ඉටුකළ යුතුව පවතී. මෙහිදී අප මුහුණ දෙන අභියෝග රැසක් පවතී. නමුත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ වගකීමක් සහිතව සියළු ජනතාවගේ අභිවෘද්ධිය සඳහා කැපවී සිටින රජයක් වශයෙන්, අපි මෙම කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමේ අධිෂ්ඨානයෙන් සිටින්නෙමු.

අපි සියළු දෙනාටම සවන් දෙන්නෙමු. සියළු වාර්තා අවධානයෙන් අධ්‍යයනය කරන්නෙමු. තොරතුරු හුවමාරු කර ගන්නෙමු. අදහස් හා විවේචන බෙදා ගන්නෙමු. අපගේ හවුල්කරුවන් සමඟ ප්‍රයෝජනවත් ලෙස හා අර්ථාන්විත ලෙස කටයුතු කරන්නෙමු. ශ්‍රී ලංකාව සෞභාග්‍යමත්, විවිධත්වය තුළ ඒකීයත්වයට පත්වූ, මානව හිමිකම් සුරක්ෂිත, සාධාරණ, නීතියේ ආධිපත්‍ය සහිත රටක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර අනුගමනය කරන්නෙමු.

භීතිය සහ බිය ගැන්වීම්වලට ඉඩකඩක් නොමැති නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ සියළු පුරවැසියන් සමානව සළකමින් මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වන අපගේ අරමුණ නොවෙනස්ව තබාගැනීමට අපි කටයුතු කරන්නෙමු. අප සෑම පුරවැසියෙක්ටම ඔවුන්ගේ සමාජයීය සම්භවය, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ තත්ත්වය, වයස සහ අනෙකුත් අනන්‍යතාවන් නොසළකා යුද්ධයේ බලපෑම පවතින බව හඳුනාගනිමින්, වින්දිතයන් අරමුණුකොට ගෙන සත්‍ය, වන්දි ගෙවීම, යුක්තිය සහ යුද්ධය නැවත ඇති නොවීම ඇතුළු සංහිඳියා න්‍යාය පත්‍රයකට අපි ඇප කැප වී සිටින්නෙමු.

නව යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය තුළ ගමන් කරන අපි උපදේශන කාර්යය බලකායේ වාර්තාව සැළකිල්ලට ගන්නා අතරම අපගේ රටේ සියළු සමාජ කොට්ඨාසවල උපදෙස් අඛණ්ඩව ලබාගැනීමට ක්‍රියාකරන්නෙමු. එවන් වගකීම් ඉටුකිරීමේදී ලෝකයේ අනෙක් රටවල් සිදුකරන පරිද්දෙන් ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීමටත් අපි අපේක්ෂා කරන්නෙමු. සංහිඳියා වැඩසටහනේ සාර්ථකත්වය තහවුරු කිරීමෙහිලා අත්‍යවශ්‍ය අංගයක් වන ආර්ථික සංවර්ධනය ඇතුළුව මෙම පරිවර්ථනීය හා අභියෝගාත්මක කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස සියළු කවුන්සල සාමාජිකයන්ගෙන්ද, නිරීක්ෂකයන්ගෙන්ද අපි ඉල්ලා සිටිමු.

ස්තූතියි!