WORLD NEWS

මියන්මාර් හමුදාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක්

මියන්මාර් යුද හමුදා භටයන් එරට ‘රෝහින්ග්‍යා’ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අපචාර සිදු කරන බවට එල්ලවෙමින් ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා කරුණු විපරම් කිරීමේ දූත මණ්ඩලයක් එහි යැවීමට මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ ආයතනය තීන්දු කර ඇත.

මියන්මාර් ආරක්ෂක හමුදා භටයන් විසින් සිදු කරනු ලබන සමූහ දූෂණ සහ සමූහ ඝාතන නිසා දස දහස් ගණනක් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට අසල්වැසි බංග්ලාදේශයට පළා යාමට සිදු වූ බව පසුගිය මාසයේ නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගින් චෝදනා කර තිබුණි.

එම අපචාර සිදුකරනු ලබන අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් එක්සත් ජාතීන්ගේ නව යෝජනාව මගින් ඉල්ලීමක් කරනු ලැබ ඇත.

එහෙත් එම නිර්දේශයන් භාර ගැනීමට නොහැකි බව මියන්මාරය පවසයි. මියන්මාරයේ ජීවත්වෙන රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව දීර්ඝ කාලයක පටන් වධ හිංසාවන්ට සහ අගතියට මුහුණ පා සිටිති.

දේශසීමා මුරපොලවලට එල්ල කෙරුණ ප්‍රහාරවලින් අනතුරුව මියන්මාර් හමුදාව එම ජනයාට එරෙහිව ප්‍රහාර එල්ල කළහ.

බීබීසි – සිංහල