SRILANKAN NEWS

ජිනීවාහි දී සහාය ලබාදුන් රටවලට රජය සිය ප්‍රණාමය පළ කරයි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත 2017 මාර්තු 23 වන දින ඉදිරිපත් කෙරුණු “ශ්‍රි ලංකාවේ සංහිදියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය “නැමැති යෝජනාව සම්මත කරගැනීම පිණීස සහය දැක්වූ සියලු රටවලට ශ්‍රි ලංකා රජය සිය ප්‍රණාමය පළ කරයි.

සියලු ශ්‍රි ලාංකිකයන් වෙත සාමය හා සෞභාග්‍ය ලඟා කරදීම සඳහා ශ්‍රි ලංකාවේ සංහිදියාව , යුක්තිය හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව දැක්වූ අවබෝධය හා සහය අපි ඉතා අගය කොට සලකමු.

2015 ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුව ශ්‍රි ලංකා ජනතාවට පොරොන්දු වූයේ රජයේ පෙර පාලනයේ පැවැති එදිරිවාදිකමින් හා ස්වයං හුදකලාවීමෙන් ඉවත් වී, මානව හිමිකම් තහවුරු කර, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කොට, දුර්විපාක ලැබීම අවසන් කොට, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ශක්තිමත් කර රටට අවශ්‍ය සාමය ස්ථාපිත කිරීම පිණිස මිතුරු රාජ්‍ය හා ජාත්‍යන්තර ප්‍රජාවේ සහකරුවන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සමඟ එක්වී කටයුතු කරන බවයි.

2015 ශ්‍රි ලංකාව විසින් සම අනුග්‍රාහකත්වය දැක්වූ 30/1යෝජනාවේ කාල සීමාව අවුරුදු 2කින් දීර්ඝ කිරීම මඟින් ශ්‍රි ලංකාවේ මෙම ගමනට සහය දැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව විසින් වැදගත් පියවරක් තබන ලදී.

ශ්‍රි ලංකා රජයේ නායකත්වය යටතේ ජාත්‍යන්තර සහයෝගය සහිත ක්‍රියාවලියක් පිහිටුවීමට අප මහත් පරිශ්‍රමයක් දරණ බැවින්, ශ්‍රි ලංකාව හා එහි ජනතාව වෙත විශ්වාසය තැබීම පිළිබඳව අපි සියළු රටවලට ස්තුතිවන්ත වෙමු.

සංහිඳියාව , ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, සහපාලනය, නීතියේ ආධිපත්‍ය හා අප රටෙහි සියලු දෙනා සඳහා කල්පවත්නා සාමය හා ආර්ථික සෞභාග්‍ය ලඟා කරගැනීම සඳහා වන මේ ප්‍රගතිශීලි ගමනේ දී අපි සියලු රටවල හා එක්සත් ජාතීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙමු.

ඒ අනුව 34/1 යෝජනාව සඳහා සම අනුග්‍රාහකත්වය දැක්වූ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මැසිඩෝනියා, මොන්ටනිගෝ, කැනඩා, ඊශ්‍රායල් , ඕස්ට්‍රෙලියා, ජපානය, නෝර්වේ, ජර්මනිය, කොරියානු ජනරජය, ලිස්ටන්ස්ටයින්(Liechtenstein), ස්ලෝවැකියාව, නවසීලන්තය, ස්විස්ටර්ලන්තය, ඇල්බේනියාව, බෙල්ජියම, අයර්ලන්තය, ඉන්දුනීසියාව, චෙක් ජනරජය, හංගේරියාව, අයිස්ලන්තය, ප්‍රංශය, ලිතුවේනියාව, ස්ලෝවේනියාව, පෝලන්තය, පෘතුගාලය, අයිවරිකොස්ට්, බල්ගේරියාව, ග්‍රීසිය, ලැට්වියා , ස්වීඩන්, රොමේනියා, පින්ලන්තය, මෝල්ටා, ජෝර්ජියා, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, සයිප්‍රස්, ලක්සම්බර්ග්, එස්ට්‍රියා, ඩෙන්මාර්ක්, ඉතාලිය, එස්ටෝනියා, ක්‍රොඒෂීයා, බොස්නියා හා හර්සගොවිනා යන රටවල් විශේෂයෙන් අගය කරමු.