SRILANKAN NEWS

මුසලි, මරිච්චුක්කට්ටි ජනතාවගේ ප්‍රශ්ණය ගැන රජයට බලපෑම් කරන්නැයි යුරෝපා සංගමයේ නියෝජිතයන් වෙත නැ. මහ ඇමැති අවධාරණය කරයි..

මුසලි, මරිච්චුක්කට්ටි ජනතාවගේ පාරම්පරික ඉඩම් ගැසට් නිවේදනයක් මඟින් පවරාගෙන ඇති හෙයින් ඇතිවී තිබෙන අසාධාරණය ගැන රජයට බලපෑම් සිදුකළ යුතු බව නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා යුරෝපා සංගමයේ නියෝජිතයන් වෙත අවධාරණය කර තිබේ.

සුළු ජාතින්ගේ විශ්වාසය දිනා බලයට පත්වූ යහපාලන ආණ්ඩුව සුළු ජාතික ජනතාවගේ යහපතට හානියක් වන අයුරින් කටයුතු කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව ද මහ ඇමැතිවරයා පෙන්වාදී තිබේ.

දේශපාලන හා ආර්ථික කටයුතු පිළිබඳ යුරෝපා සංගමයේ ප්‍රධාන නිළධාරි පෝල් කොප්රි මහතා සමඟ කොළඹදී පැවැති සාකච්ඡා හමුවකදී මේ බව පවසා තිබේ.

තවද උතුර නැගෙනහිර පළාත්වලින් පුරාවිද්‍යා සහ වන සංරක්ෂණයට යැයි පවසා ජනතාවගේ ඉඩම් අත්පත්කරගන්නා බව පෙන්වාදුන් මහ ඇමැතිවරයා, පසුගිය දශක 3කට අධික කාලයක් වන සංරක්ෂණයට හා පුරාවිද්‍යාලවට වැදගත් නොවූ ඉඩම් හදිසියෙන්ම වැදගත්වීමේ අවශ්‍යතාවය කුමක් දැයි ප්‍රශ්ණ කර තිබේ. ජනතාව පාරම්පරිකව ජීවත් වූ ඉඩම් හා ඔවුන්ගේ ගොවි බිම් මෙලෙස අත්පත්කර ගැනීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් එය ගැන රජයට අවධාරණය කළ යුතු බව මහ ඇමැතිවරයා එහිදී වැඩිදුරත් පවසා තිබේ.