ARTICLES

‘යුක්තිය’ ඉල්ලන මුල්ලිකුලම් මිනිසුන්ගේ හදවත

‘‘..අපි ඉල්ලන්නේ අපේ ගෙවල්, අපේ පල්ලිය, අපේ ඉස්කෝලේ. එතනින් එහාට තියෙන්නේ කැලේ. කැලේ ඕනෙ තරම් ඉඩ තියෙනවා. එයාලා එහෙට ගිහිල්ලා අපිට අපේ ඉඩම් දෙන්න.” මුල්ලිකුමේ මිනිසුන්ගේ අරගලයේ සිව්වැනි දිනය වූ 2017 මාර්තු 26 වන දා එහි ගිය මා හට ඔවුන් කියා සිටියේය.

භරණ වයඹ නාවික මූලස්ථාන ප‍්‍රධාන පිවිසුම ඉදිරිපිට කූඩාරමක් අටවාගෙන දින ගනිමින්, ගිණි අව්වේ, දහදිය වැගිරෙන දහවලේ ද, මදුරුවන් ගහන ඉතා සීත රැයෙහි ද එම කූඩාරම අසලම කෑමට යමක් සකසා ගනිමින් මුල්ලිකුලම් මිනිසුන් අරගල කරන්නේ පරම්පරා ගණනාවක් දිවිගෙවූ තම ඉඩම්, නිවාස යළි ලබා දෙන ලෙසයි.

නමුත් අදට දින 13ක් ඔවුන් මහමග සත්‍යග්‍රහයේ ය. යහපාලනයට මුල්ලිකුලම් මිනිසුන් යුක්තිය ඉල්ලා යාදින හඩ නොඇසෙන සේයකි.

මුල්ලිකුලම් මිනිසුන්ගේ වේදනාබර ඉතිහාසය දිගුය.

2007 සැප්තැම්බර් මස 08 වැන දින පවුල් 300 ක් පමණ ජීවත් වූ මුල්ලිකුලම් ගම්මානට පැමිණි නාවික හමුදා නිලධාරීන් තම නිවෙස් වල සියලූ බඩු භාහිරාදිය එලෙසින්ම තබා ගමෙන් පිටව යන ලෙසත් දින 3-4 කින් නැවත පැමිණි හැකි බවත් මුල්ලිකුලමේ මිනිසුන්ට දැනුම් දුන්නේය. නාවික හමුදා අණට යටත් වනවා මිස අන් කිහිවක් කළ නොහැකි වූ මුුල්ලිකුලම් මිනිසා ඔහුන්ගේ සියලූ දේ තබා නාවික හමුදාව විසින්ම සැපයූ බස් රථ වල නැගී පිටත් වූ අතර නාවික හමුදාව මොවුන්ව රැගෙන ගොස් මුදා හරින ලද්සේ මුරුන්කන් පාසැල වෙතය. පසු දිනම නාවික හමුදාව විසින් සිය ‘භරණ වයඹ නාවික මූලස්ථානය‘ මුල්ලිකුලමේ පිහිටුවන ලද්දේ මුලූමනින්ම කතෝලික ආගම අදහන ඒ දෙමළ මිනිසාගේ, මුල්ලිකුලම් ජනතාවගේ හදවත බඳු පරලෝකමාතා දේවස්ථානයද මන්නාරම, මුල්ලිකුලම රෝමානු කතෝලික දෙමළ පාසැල ද මිලිටරි බලය යටතට ගනිමිනි.

ඒ අතර සති කිහිපයක් මුරුන්කන් පාසලේ ගත කළ මුල්ලි මිනිසුන්, පාසැල් අධ්‍යන කටයුතු සඳහා බාධාවක් වූයෙන් ඔවුන් එම පාසැලෙන් ඉවත්ව යාමට සිදු විය. ඉන්පසු මන්නාරම දිස්ත‍්‍රික් කාර්යාලයේ මැදිහත්වීම මත නැවතත් බස් රථ වල නංවාගෙන මන්නාරම නගරය වෙත ගෙන යන ලදී. ඇතමුන් තම ඥාතීන්ගේ නිවෙස් වෙත ගිය අතර දේවස්ථාන වල ද, කටුකත්වය කරපින්නාගෙන, පොදු ස්ථාන වල ද රැඳීමට අනිකුත් මුල්ලිකුලමේ මිනිසුන්ට සිදු විය.

ඉන්පසු තම ගම්මානය වට කොට තැනූ නාවික හමුදා මූලස්ථානය මුල්ලිකුලම් ජනාතාවට දැඩි තහනම් කලාපයක් බවට පත් විය. ගම්වාසීන්ට කිසිඳු දිනක තම නිවාස වලට හෝ, දේවස්ථානයට හෝ පාසැල වෙත යාමට අවසර නොලැබුණි.

හරි හමන් ජීවවනෝපායක් නොමැතිව, කුසට අහරක් නොමැතිව, ඉතා කටුක වූත් දුක්බර වූත් අහිකුන්ටික ජීවිතයක් ගත කළ ද, මුල්ලිකුලම් මිනිසුන් තම නිජබිම වෙත නැවත යාමේ අධිෂ්ථානය අත් නොහළේ ය. ඔවුන් මේ පිළිබඳව ඔවුන්ට හැකි සෑම පාර්ශවයක් වෙතම ගොස් පිළිසරණක් පැතුවේය.

සශ්‍රීක භූමියක ජීවත් වූ මිනිසුන්ට හිමි වූ කටුකත්වය

අදාල බලධාරීන්ගේ අවධානය නොළද මුල්ලිකුලම් ජනයා 2012 වර්ෂයේදී නාවික හුමාදාව විසින් අත් පත් කරගෙන සිටි සිය ගම්මානයේ මායිම අසලට ගොස් කැලෑව එළි පෙහෙලි කොට කූඩාරම් අටවාගන්නට විය. විනෝද චාරිකා හා ත්‍රාසජනක චාරිකා යන අපට මෙය ඉතා විනෝදජනක ක‍්‍රියාවක් වූව ද මුල්ලිකුලමේ ජනතාවට මෙසේ කරනවා වින වෙන කළ හැක්කක් නොවීය. මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මුල්ලිකුලම, විල්පත්තුවට මායිම්ව පිහිටි බැවින් අලිඇතුන්ගෙන් ග්‍රහනය ට ද ලක් වූ ප‍්‍රදේශයක්ද විය. කැලෑවේ කූඩාරම් අටවා දිවි ගෙවූ මුල්ලිකුලමේ ජතනාවට අවු වැසි පමණක් නොව අලිඇතුන්ගේ ද, විෂකුරු සතුන්ගේද, මදුරුවන්ගේද පීඩාවන්ට ලක් වීමට සිදුවිය. ඔවුන් මරිච්චිකඞ්ඩි කැලෑවේ ගත කලේ ඉතා දුක්බර, කටුක ජීවිතයකි.

සාධාරණය සොයා යන මුල්ලිකුලමේ ජනතාවයට මන්නාරම පදවි එෙඞ්රාණන් වන රායප්පු ජෝසප් හිමිපාණන් ද, පූජක පැවදිවරුන් ද, සිවිල් සංවිධාන ක‍්‍රියාදරයන් ද ඔවුන්ගේ එම ගමනේ ශක්තිය හා ධෛර්ය වෙමින් ඔවුන්ට අහිමි වූ යුක්තිය ඉෂ්ඨ කරවා දීමට කැප වී කටයුතු කළේය. අදාළ බලධාරීන් හට නොයෙකුත් වර ආයාචනයන් ඉදිරිපත් කරමින් ද ඔවුන් සමඟ සාකච්ඡා කරමින් ද විටෙක විරෝධතාවන්හි යෙදෙමින් ද මුල්ලිකුමම් ජනතාවගේ යුක්තිය උදෙසා සටනේ නියුලූනු මෙම පිරිසගේ මැදිහත්වීම මත 2012 වර්ෂයේ මැයි මස, වසර 05 කට පසු පළමු වරට මුල්ලිකුලම් දේවස්ථානයේ දිව්‍ය පූජාවක් පැවැත්වීමට අවස්ථාව හිමි විය.

යුක්තිය උදෙසා යන ගමනේ පළමු ජයග‍්‍රහනය ලැබූව ද ඉන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය පරිදි දේවස්ථානයට යෑමට අවසර නොවීය. දේවස්ථානයට යාමට අවසර ලද්දේ නාවික හමුදා නිලධාරීන් විසින් අවසර දුන් විශේෂ කාලසටහනකට අනුවය. මෙසේ මුල්ලිකුලමේ ජනතාවගේ පීඩනයට ලක් වූයේ අප කාටත් හිමි වන ආගම ඇදහීමේ මූලික මිනිස් අයිතිවාසිකමද උල්ලංගනය කරමිනි. තවදුරටත් කියන්නේ නම් ආගම ඇදහීමේ අයිතියත් මිලිටරිය විසින් මුල්ලිකුලම් මිනිසාගෙන් උදුරාගෙන තිබුණේ ඊනියා ජාතික ආරක්ෂාවට මුවා වෙමිනි.

මුල්ලිකුලම් මිනිසුන්ගේ පාරම්පාරික ගෙවල් ‘හමුදා‘ පවුල්වලට

මේ අතර මුල්ලිකුලම රෝමානු කතෝලික දේවස්ථානය, පාසැල, ඇතුලු ගොඩනැගිලි, ‘සිවිල් ඉංජිනේරු නාවික හමුදා පැසැල‘ – ‘භරණ‘ ලෙස නාවික හමාදාව විසින් ඔවුන්ගේ පුහුණුවීම් සඳහා යොදා ගන්නා ලදී. එමෙන්ම මුල්ලිකුලම් වැසියන් ජීවත් වූ නිවාස නාවික හමුදා සාමාජිකයන්ගේ පවුල් විසින් භුක්ති විඳින ලද්දේ ඔවුන්ගේ දූදරුවන් හට සේවා වනිතා එ්කකය විසින් පවත්වාගෙන යන ලද පෙර පාසැලක් ද පවත්වාගෙන යමිනි.

2012 වසර අගභාගයේදී මුල්ලිකුලම් දරුවන්ට ඔවුන්ගේ පාසැල වෙත නැවත යාමට අවසර ලැබුනත් ඔවුන්ට හිමි වූයේ පාසැලේ පිහිටි එක් ගොඩනැගිල්ලක් පමණි. ඉතිරි කොටසේ හමුදා පුහුණු පාසැල පැවත්විණි.

2013, පෙබරවාරියේදී එහි සංචාරය කළ මා හට පාරම්පාරික මුල්ලිකුලම් දරුවන්ගේ පෙර පාසල වෙනුවට, නාවික හමුදාව විසින් පවත්වාගෙන යන පෙර පාසැල් සිංහල ගීත ගයන දරුවන්ගේ හඬ ද ඇසුණා මතකය.

මුහුදට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකින් පිහිටි මුල්ලිකුලම ගම්මානය වැව් 08 කින් සමන්විත ඉතා ස්වයංපෝෂිත මනරම් භූමියකි. එහි කුඹුරු අක්කර 1200 ක් පමණ අස්වැද්දූ මුල්ලිකුලම් ජනතාවට 2007 වර්ශයේ සිට එ්වායේ හිමිකාරීත්වය සම්පූර්ණයෙන්ම අහිමි විය. නැත. අහිමි කළා ය.

මතස්‍ය ගහනයද ඉතා සාරවත්ව පැවති එහි, එකළ ඔවුන්ගේ ආදායම ඉතා හොඳ තත්වයක පැවතුණි. නමුත් 2007 දී ගම අතරහැර යන විට මාළු ඇල්ලීමට උපයෝගී කර ගත් ෆයිබර් ග්ලාස් වර්ගයේ බෝට්ටු 64 ක්ද, තෙප්පම් 90 ක්ද, බෝට්ටු එන්ජින් ද, මාළු දැල් ආදී ආම්පන්න ද සියල්ලම මුල්ලිකුලම ධීවරයන්ට අහිමි විය. එපමණක් නොව පසු කාලයේදී ගම ආශි‍්‍රතව නැවත පදිංචියට පැමිණි ජනතාවට මසුන් ඇල්ලීම ඉතාමත් සීමා සහිත කොටසකදී කිරීමට සිදු වූයේ නාවික හමුදාවේ දැඩි පාලන නීති මතය.

නැවතත් ‘යුක්තිය’ ඉල්ලා අරගලයට

තම නිජභූමි අහිමිව, ජීවනෝපායන්ද අහිමිව අවතැන් වූ මුල්ලිකුමේ ජනතාව තවමත් තමන්හට යුක්තිය ඉටු කරවා ගැනීමේ අරගලයේ නිරතව සිටින්නේ නව ‘යහපාලන‘ ආණ්ඩුව යටතේය. අද දවසේත් භරණ වයඹ නාවික මූලස්ථාන ප‍්‍රධාන පිවිසුම ඉදිරියට වී මොවුන් ඉල්ලා සිටින්නේ යුක්තියයි.

”අපි ඉල්ලන්නේ අපේ ගෙවල්, අපේ පල්ලිය, අපේ ඉස්කෝලේ. එතනින් එහාට තියෙන්නේ කැලේ. කැලේ ඕනෙ තරම් ඉඩ තියෙනවා. එයාලා එහෙට ගිහිල්ලා අපිට අපේ ඉඩම් දෙන්න.” ඔවුන් පවසන්නේ එපමණකි. ඒ ඔවුන්ගේ අයිතියයි.

විශේෂයෙන් අදට(04) දින 13 ක් සැපිරෙන මෙම අරගලයේ විශේෂත්වක් ඇත. මුස්ලිම් ජාතිකයෙක් වන ‘‘අහිම්” තම නිවස පිහිටි ඉඩම විරෝධතාවයේ යෙදෙන පිරිස වෙත ලබා දී ඇති අතර ජල පහසුකම්, විදුලිය හා සනීපාරක්ෂක කටයුතු සඳහාත් ඔවුන්ගේ නිවසේ දොරගුළු විවර කර ඇත්තේ ‘‘සංහිඳයාව” යන වචනයේ නිවැරදි අරුත භාවිතයෙන් ‘යහපාලනයටත්‘ ලෝකයටත් කියා දෙමිනි.

මුල්ලිකුලම් මිනිසුන්ට ‘යුක්තිය’ සේම, මුල්ලිකුලම් මිනිසුන්ගේ අරගලයට පණ පොවන ‘අහිම්’ වැනි මුස්ලිම් මිනිසුන් තව තවත් ලෝකය යහපත් කරන්නට අපට අවශ්‍ය වන්නේ එබැවිනි.

මුල්ලිකුලම් සංචාරයකින් පසු,
සටහන සහ ඡායාරූප,
ලුසිලි අබේකෝන් | Lucille Abeykoon

– vikalpa –