SRILANKAN NEWS

ඉරක්කාමම් මුස්ලිම් ජනතාවගේ ඉඩම් ආක්‍රමණය ගැන ජනපතිගේ අවධානයට – නැ. මහ ඇමැති

ඉරක්කාමම් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් ආක්‍රමණය කර තිබීම ගැන ජනාධිපතිගේ අවධානයට යොමු කරන බව නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා පවසයි.

නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවල දිගින් දිගටම ජනතා ඉඩම් ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවත් මේ හේතුවෙන් යහපාලනය කෙරෙහි සුළු ජාතිකයන්ගේ විශ්වාසය බිඳවැටිය හැකි බව ‍හෙතෙම පවසා තිබේ.

ඉරක්කාමම් ප්‍රදේශයේ දේශාපලන නියෝජිතයන්, සහ සමාජ නියෝජිතයන් එක්වී ඉරක්කාමම් මායක්කල්ලි කන්ද පිළිබඳව මහ ඇමැතිවරයා වෙත සන්දේශයක් භාරදුන් අවස්ථාවේ මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

මුස්ලිම් ජනතාවගේ පාරම්පරික ඉඩම් අනවසරයෙන් අත්පත් කරගැනීමෙන් යහපාලනය කෙරෙහි විශ්වාසය තබා ජන්දය ලබාදුන් මුස්ලිම් ජනතාව අතර දැඩි අතෘප්තියක් ඇතිවී තිබෙන බවත්, ජාතිවාදීන් කිහිප දෙනෙකු විසින් සැලසුම් සහගතව රට ආපස්සට ගෙන යෑමේ අයුරින් ජාතීන් අතර විරසක් ඇති කර ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කිරීමට තැත් කරන බවද මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.