SRILANKAN NEWS

පීඩාවට පත් මාධ්‍යවේදීන්ට සහන දෙන ඉල්ලීම් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

2005 සිට 2015 දක්වා කාලවකවානුව තුළ විවිධ පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැළසීම සඳහා ඉල්ලුම් කිරීමට හා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබුණු කාලය ලබන මැයි 01 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මෙම සහන සැලීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුවේ තීරණය මත මෙම කාලය දීර්ඝ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නිර්දේශ තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට හා යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි වූ අයට හා සංවිධානවලට යළිත් මෙමඟින් අවස්ථ‍ාවක් හිමි වේ.

ඒ අනුව මෙම වකවානුව තුළ ඝාතනයට, පහරදිම්වලට සහ නොයෙකුත් විවධ හිරිහැර හා පීඩාවලට පත් වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් පිළිබඳව ඉල්ලීම් සිදු කිරීමට මෙම කැබිනට් අනුකාරක කමිටුව අවස්ථාව ලබා දී ඇත.

මෙම යෝජනා සහ ඉල්ලීම් 2017 මැයි පළමු වනදාට පෙර පහත සඳහන් ලිපිනයට, ෆැක්ස් අංකයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ හැකිය.

ලිපිනය  :    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
අංක 163, කිරුලපන මාවත,කොළඹ 05

ෆැක්ස්   :    011 2514753

ඊ මේල් :    [email protected]