ARTICLES

ආඝාධයක් අභියස සහය පතනා ඒ සොඳුරු දේශය

ශ්‍රී ලංකාව නම් දූපත ඉන්දු සමුදුරේ මුතු ඇටය ලෝකය නම් ගෝලයේ සුරවිමන අලංකාර කෙත් වතු වනාන්තරත්, සල සල රාව දී ගලා බසිනා ඇළ දොළ ගංගාවනුත්, සිවුදෙසින් වූ සමුදුරත්, මධ්‍යයේ වූ කඳු නිම්නත්, වැසී එන පින්නත්, පැය විසිහතරම හමා එන්නාවූ මද පවනත් සමගින් වූ අපූර්ව දේශයකි ඒ..

සවන් පිනවන කෝකිල නාදයත්, උදෑසනම සිත් සතන් වසඟ කරවන පක්ෂීන්ගේ නාදයත් , පුෂ්පයන් සොයා ගොස් පියෑඹූ වනම අසුන්ගන්නා බඹරුන්ගේ රුං හඬත් කැටිවූ ස්වභාව ධර්මයේ මියුරු සංගීත කච්චේරියකි ඒ..

සැඳෑ අහසේ රත් පැහැව දිළිසෙන සූර්යයාත්, දවා අළු කිරීමට තරම් චණ්ඩ නොවන හිරු රශ්මියත්, කටුවකින් අනින්නාක් මෙන් වේදනාවට පත් නොකරන ශීතලත්, වියළි ප්‍රදේශවල පවා වූ නීල වර්ණ වෘක්ෂ ලතාවනුත්, ඔක්සිජන්වලින් සපිරි වායුගෝලයත්, සිදුරුවලින් තොර ඕසෝන් ස්ථරයත් ලෙස නිර්ලෝබී කාලගුණයකින් වරම් ලත් සාරවත් භූමියකි ඒ..

රස නහර පිනවන සිය ගණන් පළතුරුත් , ස්වභාව ධර්මයේ සෑම වර්ණයක්ම නියෝජනය කරන්නාවූ එළවළුත්, හරිත වර්ණයේම සිය ගණනින් වූ විවිධත්වයත්, භූමියේ රුධිරය සේ නොහිඳී එක් රැස් වන ජලාශත්, වැරදීමකින් අත් හැරුණු බීජය පවා පැළය බවට පත්කර ජය ගන්නා පසත් ආදී වශයෙන් ස්වභාව දර්මයේ අති විශාල ආහාර නිශ්පාදනාගාරයක් වූ උදාර දේශයකි මේ.

සියයට අනූවක් මිනිසුන්ගේ මුවෙහි නිල් අහසේ දිළිසෙන රිදී සඳ සේ පූදින කුසුමක් සේ මුව මඬල මද සිනහවෙන් අලංකාර වූ මනුසත්කමේ දේශයයි මේ…

ප්‍රථම මිනිසා ආදම් ස්වර්ගයේ සිට පැමිණෙන විට ඔහු හා පැමිණි දිව්‍ය සුගන්ධයේ ප්‍රතිඵලයක් ලෙස අප ස්වභාව ධර්මයේ මූල බීජයන් අපේ දේශයට ලැබුණා විය හැක. එය දන්නේ කවරෙක්ද?

යහපත් මිනිසුන්, සුන්දර වටාපිටාව, යහපත් කාලගුණය, පවිත්‍ර ජලය, නැවුම් සුළඟ ආදී වශයෙන් සෑම යහ අංගයකින්ම පරිපූර්ණ අලංකාර සිත්තමකි මේ දේශය.

මිනිසත්කමේ සුවඳ හඳුනන, හදවතේ වූ ස්නේහයේ උණුසුම හඳුනන, ඥාතීන්ගේ සෙනෙහසේ රසය හඳුනන උත්තම දේශයකි මේ.

විශ්වාසයන් විවිධ වූවත් රටේ යහපත වෙනුවෙන් එක්වන හදවත් ගණනාවක් ජීවත්වන මේ රටේ, අපටම කියා අප විසින් ආරක්ෂා කරගෙන ආ යහපත් ගුණධර්මත් සංස්කෘතියකුත් ඇති මේ දේශයේ, කාන්තාවටත් මාතෘත්වයටත් විශේෂ ගෞරවයක් ලබා දෙන උතුම් ගුණාංගයන් රාශියක් තමා සතුකරගත් මුහුදේ පාවෙමින් ඇති මේ භූමි බාගය පිළිබඳ මෑත කාලයක සිට සිතේ යම් කනස්සල්ලකි.

මෙවන් වූ සම්පත් සියල්ලක්ම එක්කාසු කරගෙන අප යමින් සිටින්නේ කුමන ඉලක්කයක් කරාද?

බසයකට ගොඩ වැදුණොත් හෘදය වස්තුවෙන් රුධිරය වෙන් කරගන්නට තරම් ප්‍රභල කම්පනයන්ගෙන් යුක්ත, වේග රිද්මී ගීත ශබ්දයත්, ඒ ගීතවලින් දහයෙන් නවයක්ම සැමියා සිටින අතර වෙනත් අයෙක් සමඟ උකුළු මුකුළු පාමින් හුරතල් වන ද්‍රෝහීන් ලෙස කාන්තාව චිත්‍රයට නගන අශෝබන දර්ශන පෙළත් ලෙසින් අපගේ පාරම්පරිකත්වයත්, සංස්කෘතියත් ඇස් පනා පිටම විනාශයට ලක් කරන අපරාධය දිනපතා දහස් ගණනින් වූ බස් රථවල සිදුවෙමින් පවතී.

පවුල් සංවිධානය බිඳ වැටී එහි ලිපිනය පවා සොයාගන්නට නැති මට්ටමට පිරිහුණු බටහිර සංස්කෘතිය *“මා හා එක්ව නුඹත් විනාශ වී පල”* යන ව්‍යංඝ ඝෝෂයත් සමඟ බලහත්කාර ලෙස අපගේ හිස මත පටවා ඇත. කා සමඟ කවුරුන් හෝ එක්ව කෙසේ හෝ ජීවත් විය හැකියි යන අනාචාරයේ සංස්කෘතිය තියුණු ලෙස අපගේ පිවිතුරු සංස්කෘතියට එන්නත් කරමින් සිටී..

*කාන්තාවටත් මාතෘත්වයටත් මේ පුණ්‍ය භූමියෙහි පරම්පරා ගණනාවක් තිස්සේ ලබාදෙමින් තිබුණු ගෞරවයත් අභිමානයත් ඇස් පනා පිටම ශෝඛී ලෙස වධ හිංසාවට ලක් වෙමින් පවතී.*

පිරිමින්ගේ චින්තනයේත් මනසේත් ගැහැණිය පිළිබඳ අප්‍රසන්න සිතුවිලි මුසුවූ සැකයත් බලහත්කාර ලෙස වපුරණු ලබන්නේය. ස්වභාවයෙන්ම චපලත්වය ඇතිව නන්නත්තාරවන පිරිමින්ට සෑම කාන්තාවකම ඇස්වලින්ම විනිවිද දැකීමේ පුහුණුව දෛනිකව ගමන් බිමන්වලම ලබා දෙමින් සිටී.

*කලාවත් සාහිත්‍යයත් යනු සංස්කෘතියක් ආරක්ෂා කිරීමෙහිලා විශේෂ හැකියාවක් ඇති අංගයන් දෙකකි. එලෙසම ඕනෑම සංස්කෘතියක් විනාශ මුඛය කරා ඇදගෙන යාමේ හැකියාවද ඒ අංග දෙක සතුව ඇත.*

ගෙවීගිය දශකයක කාලය තුළ මේ අලංකාර දේශය ඉලක්ක කර මුදවා හරිණු ලැබ ඇති මාරාන්තික විෂබීජ ලැයිස්තුවේ ජාතිවාදය ප්‍රදේශවාදයට අමතරව කලාවන්ගේ නාමයෙන් වේදිකාගතවන මේ අශෝභන දේවල්ද අන්තර්ගතය. මේ අශෝභන ගීතයන්ගේ පද රචනයත්, අශීලාචාර දර්ශන පෙළත් මේ සම්පත් සපිරි රට විනාශයට ලක් කරන විෂ වාහකයක් යන්නෙහි කිසිඳු සැකයක් නැත.

*මෙයට මෙලෙසම ඉඩ හැරියේ නම් පුරා වසර 30 ක කාලයක් සිදු වූ යුද්ධයෙන් සිදු වූවාට වඩා කිහිප ගුණයකින් විශාල ආපසු ගොඩ ඒමට නොහැකි තරමේ ආඝාධයකට ඇද වැටීමට සිදු වනවා යන්නෙහිද කිසිඳු සැකයක් නැත.*

ඒවනවිට හරිත කෙත් වතු වනාන්තර පසාරු කරගෙන විහිදෙන්නාවූ අධිවේගී මාර්ග රටේ සෑම අස්සකම මුල්ලකම තිබෙණු ඇත. ගාම්භීර වෘක්ෂයන් මෙන් උස, කලු ගල් පර්වත මෙන් ශක්තිමත් ගොඩනැගිලිද රටේ සෑම අතකම තිබෙණු ඇත. සන්නිවේධන තාක්ෂණයේ දියුණුව ඉදිරියේ පසුබට නොවී ලෝකයා හා කරට කර වේගයෙන් රට පෙරට යමින් තිබෙණු ඇත. ඒ අතරම අශීලාචාර සංස්කෘතිය අප මතට බලෙන් පටවා තිබෙණු ඇත.පවුල් සංස්ථාව බිඳ වැටී පියාගේ නම නොදත් දරුවන්ගේ සංඛ්‍යාව ඉහල ගොස් , රැකවරණයක් නොමැතිව වැඩිහිටියන් වීදිවල වෙසෙන තත්වයක් ගොඩ නැගී තිබෙණු ඇත.

*අවසාන වශයෙන් බලන කළ රට දියුණු වී තිබෙණු ඇත.අපි පරාජයට පත්වී සිටිනු ඇත්තෙමු.* අපගේ පරාජය යොදා ගෙන ලෝකයේ කොහේ හෝ කවුරුන් හෝ මුදල් උපයමින් සිටිනු ඇත.උපයන්නාවූ ඒ මුදල්වලින් අප වෙත දික් කරන්නාවූ හිඟමනක් ලෙස ඒ සංවර්ධනය පවතිනු ඇත.

“බසයක දාන සිංදුවක පසුබිමෙහි මෙතරම් දෙයක් තිබෙනවාදැ” යි ඇතැම්විට ඔබ පුදුම වනවා විය යුතුය.

නමුත් මේ අශිෂ්ට විකාශනයන් දැන්මම නැවැත්වූයේ නැතිනම් , මේ අලංකාර රටට ආලය කරන්නන් දැන්මම මීට විරුද්ධ නොවූයේ නම් , ඊට විරුද්ධව නැගී සිටින්නට එක් නොවුණේ නම් මෙහි ගෙන හැර දක්වා ඇත්තේ ඉතා සුළු බලපෑම් පමණක්ම බව නුදුරු අනාගතයේම අපට දැන ගන්නට සිදුවණු ඇත.

ලෝකයේ මුදල් ගිල දමන්නාවූ උකුස්සන්ට ගැතිකම් කරන , දේශය පිළිබඳ කිසිඳු හැඟීමක් නැති මෙහි සිටින ඇතැමුන් රටත් එහි අලංකාර සංස්කෘතියත් අනාගත පරම්පරාවත් විකුණා හෝ තම පසුම්බිය තර කරගෙන සියලු සැප සම්පත් භුක්ති විඳිමින් ජීවත් විය යුතුයි යැයි සිතන ආත්මාර්ථකාමීන්ට එරෙහිව මේ දේශයට ආදරය කරන , අනාගත පරපුර ගැන කැක්කුමක් තියෙන, කාන්තාවට ගරු කරන සෑම පුරවැසියෙක්ම නැගී සිටිය යුතුය.

ස්වභාවයෙන්ම විරුද්ධකම් නොපාන, කල කෝලාහල නොකරන ,අපිට මොකටද අනවශ්‍ය ප්‍රශ්න යැයි සිතන අහිංසකත්වයත්, නොදැනුවත්කමත් සහිත මෙරට වැසියන්ගේ මෙවන් බෙලහීනත්වයන්ගෙන් මුදලට කෑදර වූ ඒ පිරිස තමාට රිසි සේ වාසි ප්‍රයෝජන ලබා ගැනීම ආරම්භ කරයි.

අදම මේ මොහොතේම පවා වුවද මේ විනාශයෙහි බලපෑම් ඕනෑතරම් ඔබට සමාජයේ අවධානය කළ හැකියි.මීට විරුද්ධව අපගේ හඬ අවධි කරන්නට පමා කරන සෑම දිනයකින්ම අර්ථවත්වන්නේ මමත් ඔබත් අපගේ ආදරණීය පවුල් ආඝාධයක ඇදී වැටෙන්නට ඉඩ සලස්වමින් සිටින්නෙමු යන්නයි.

මේ විනාශකාරීන්ගේ හඬ මාධ්‍යයන් ඔස්සේ උච්ඡ ශබ්දයකින් විකාශනය වෙමින් පවතී.එ‍ය බස් රථවල විකාශනය කරනු ලැබුවේ නම් රු. 25000ක මුදලක් ලබා දෙන බවද ප්‍රචාරය කරනු ලැබේ.අද ඒ මුදල හිමිකරගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයා තමා විය යුතුයි යන අධිෂ්ටානයෙන් සෑම රියදුරෙක්ම ඩිජිටල් තිරයන් ඔස්සේ මෙම අශීලාචාර දර්ශන පෙලට තම රථය තුළ ඉඩ සළසා දෙමින් සිටිති.

රටේ පවතින මුදල් , සංවර්ධයනයට ප්‍රාණවත් නොවේ යැයි චීනයේ මුදල් ගෙන්වා ගෝල්ෆේස් අසළ ටොන් ගණනින් ගොඩගසමින් සිටී.සියක් දාහකින් එකක් හෝ ඊටත් වඩා වැඩි ගණනකින් එකක් යන සම්භාවිතාවයකින් තමන්ට ලැබිය හැකි ඒ වාසනාව වෙනුවෙන් රට විනාශ කරන්නට, රටේ සංස්කෘතිය විනාශ කරන්නට සහය වන මේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ඒ ගොඩගසන මුදල් භාවිත කළානම් මොකද?

*ඒවාද කොමිසමක් ගැසිය හැකි ව්‍යාපාරයක් වූවා නම් කතන්දරය වෙනස් වනු ඇත.*

*අපගේ නිහැඬියාව අපගේ පරාජයයි.
*අපගේ නිහැඬියාව අපගේ පසුබෑමයි.
*අපගේ නිහැඬියාව අප විසින් අපටම කරගන්නා වූ අපරාධයයි.

මුහුණු පොතෙන් ට්විටරයෙන් මීට එරෙහිව හෑෂ් ටෑග් සටන මෙයින් ආරම්භ කරමු.දේශපාලනිකව මේ සඳහා බලපෑම් කළ හැකි අය ඒ අතින් උත්සහ කරමු.කුමන හෝ මාර්ගයකින් සුළු හෝ දායකත්වයක් ලබා දිය හැකි සෑම අයෙක්ම ඒ සඳහා උපරිමයෙන් උත්සහ කරමු.රටේ යහපත ගැන තැකීමක් ඇති සෑම අයෙක්ම මේ කර්තව්‍යයෙහිලා එකමුතුව කටයුතු කළ යුතුයි යන්නයි අපගේ බලාපොරොත්තුව.

#BanVulgarSongs
#STOPVULGARISMinBUSES
#StopFILTHYSONG

—–
දෙමළ භාෂාවෙන් : *Affan Abdul Haleem
පරිවර්තනය: *Ummu Raheel
GTN – SINHALA