WORLD NEWS

දිල්ලි සමුහ දූෂකයින්ගේ මරණ දඬුවම ස්ථිරයි !

දිල්ලියේ ශිෂ්‍යාවක දූෂණයකර මරා දැමීමේ සිද්ධියට වරදකරුවන් වූ සිව්දෙනාට මරණ දඬුවම ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

අභියාචනය ප්‍රතික්‍ෂේප කරමින් විනිසුරුවරිය වන ආර් බානුමති කියා සිටියේ මෙම සිව්දෙනා “ම්ලේච්ඡ අපරාධයක්” සිදුකර ඇති බවය.

2012 වසරේ දෙසැම්බරයේදී සිදුවූ මෙම සමූහ දූෂණය හේතුවෙන් ඉන්දීය සමාජය මහත් කම්පනයට සහ කෝපයට පත්වූ අතර ස්ත්‍රී දූෂණයට එරෙහි නව නීති සම්පාදනය විය.

විසි තුන් හැවිරිදි භෞතචිකිත්සක ශිෂ්‍යාව සමුහ දුෂණයට ලක්වූයේ පොදු බස් රථයක් තුළදීය. ඇය සමඟ සිටි මිතුරාට ද දරුණු ලෙස පහර දී තිබුණි.

මෙම ශිෂ්‍යාව දූෂණයකර මහමග දමා ගොස් තිබුණු අතර දෙසතියකට පමණ පසු රෝහලක දී මියගියාය.

සැකපිට පුද්ගලයන් සයදෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර එක් සැකකරුවෙකු අත්අඩංගුවේ සිටියදී මරණයට පත්විය. ඔහු සිය දිවි හානිකරගෙන ඇති බවට වාර්තා විය.

සැකකරුවන් අතර සිටි එක් පුද්ගලයෙකු සිද්ධිය සිදුවන විට දාහත් වැනි වියේ පසුවූ බැවින් බාලවයස්කාර අපරාධකරුවෙකුට දිය හැකි උපරිම තුන්වසරක පුනරුත්ථාපන සිරදඬුවම විඳ නිදහස ලැබුවේය.

ඉතිරි සිව්දෙනාට එරෙහිව ඉන්දීය අධිකරණයක පැවති කඩිනම් නඩු විභාගයකින් අනතුරුව වසර 2013 දී මරණ දඬුවම හිමි විය. පසුව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළහ.

නඩුකරයේ දින සටහන:

  • 2012 දෙසැම්බර් 16: විසිතුන් හැවිරිදි ශිෂ්‍යාව දිල්ලි නුවරදී බස් රථයක් තුළ දී පුරුෂයන් සයදෙනෙකු විසින් දූෂණය කරනු ලබයි. ඇයගේ මිතුරාට ද පහර දෙයි. දරුණු තුවාල සහිතව දෙදෙනාම මහමග දමා යති.
  • දෙසැම්බර් 17: බස් රථයේ රියැදුරා අත්අඩංගුවට පත්වෙයි. ඉන් දින කිහිපයක් ඇතුළත ඔහුගේ මිතුරන් පස්දෙනා අත්අඩංගුවට පත්වෙති.
  • දෙසැම්බර් 29: දූෂණයට ලක්වී බරපතළ තුවාල ලත් ශිෂ්‍යාව රෝහලේදී මරණයට පත්වෙයි.
  • 2013 මාර්තු 11: අත්අඩංගුවේ සිටි එක් සැකකරුවෙකු සිරමැදිරියේ දී මියයයි. ඔහු සියදිවි හානිකරගත් බව පොලිසිය පවසයි. නමුත් විත්තියේ නීතිවේදීන් පවසන්නේ ඔහු ඝාතනයට ලක්වූ බවය.
  • අගෝස්තු 31: බාලවයස්කාර සැකකරුට තුන් වසරක සිර දඬුවම් නියම වී පුනරුත්ථාපන කඳවුරකට යැවෙයි.
  • සැප්තැම්බර් 13: ඉතිරි සැකකරුවන් සිව්දෙනා විශේෂ අධිකරණයක් මගින් වරදකරුවන් බවට පත්වී මරණ දඬුවම නියම වෙයි.
  • 2014 මාර්තු 13: දිල්ලියේ ඉහල උසාවිය මගින් එම මරණ දඬුවම තහවුරු කරයි.
  • මාර්තු – ජුනි: විත්තිකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ හෙයින් එහි තීන්දුව ලැබෙන තුරු මරණ දඬුවම තාවකාලිකව අත්හිටුවන ලදී.- බීබීසී සිංහල