WORLD NEWS

මත්පැන් වැඩියෙන්ම බොන්නේ බෞද්ධ රටවල්

– Global Tamil News –

මත්පැන් වැඩියෙන්ම බොන්නේ බෞද්ධ රටවල්

කලාපය තුළ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඉහලින්ම සිටින බව දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

මද්‍යසාර භාවිතය පිළිබඳ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති පාලිත අබේකෝන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතා කරන පුද්ගලයෙකු වසරකට ලීටර් 21 කට ආසන්න මත්පැන් පානය කරන බවයි.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 80% ක් පමණ මද්‍යසාර භාවිතා නොකළත් මද්‍යසාර භාවිතා කරන සෙසු පිරිස විසින් පරිභෝජනය කරනු ලබන මත්පැන් ප්‍රමාණය අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී ඉහළ අගයක් ගන්නා බවයි සභාපතිවරයා සඳහන් කළේ.

“මද්‍යසාර පානය කරන පිරිස සියයට විස්සක් වුනත් ඒ අය භාවිතා කරන මත්පැන් ප්‍රමාණය ඉතාමත් වැඩියි. අනිත් රටවල්වලට වඩා පස් ගුණයකටත් වඩා වැඩියි. ආසියාවේ ශ්‍රී ලංකාව හා තායිලන්තයේ තමයි වැඩිපුරම එක් පුද්ගලයෙක් බොන්නේ.”

බටහිර රටවල ජනගහනයෙන් 95% ක් පමණ මද්‍යසාර භාවිතා කළත් ඔවුන්ගෙන් එක් අයකු සාමාන්‍යයෙන් වසරකට පානය කරන්නේ මත්පැන් ලීටර් 3.5 ක් පමණ බවයි ඔහු පවසන්නේ.

‘පස් ගුණයක්’

ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන් 2% පමණ මද්‍යසාරවලට ඇබ්බැහි වී තිබෙන බවත් වැඩිහිටි පිරිමීන්ගෙන් 38% ක් පමණ මද්‍යසාර පානය කරන බවත් පාලිත අබේකෝන් පෙන්වා දෙයි.

පසුගිය රජය යටතේ මෙන්ම වත්මන් රජය යටතේද මතට තිත තැබීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුවත් ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතයේ අඩු වීමක් සිදු වී නොමැති බවයි දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසන්නේ.

මද්‍යසාර හා දුම් කොළ බදු මගින් රජයට විශාල ආදායමක් ලැබෙන බවට මද්‍යසාර සමාගම් විසින් ප්‍රචාර ගෙන ගියත් මද්‍යසාර හා දුම් කොළ මගින් පැන නගින සෞඛ්‍ය ගැට‍ළුවලට රජය ඊටත් වඩා විශාල මුදලක් වැය කරන බව සොයා ගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

ආදායම් ලබාගැනීම සඳහා නොව ආණ්ඩුවේ වියදම අඩු කර ගැනීම සඳහා දුම් කොළ සහ මද්‍යසාර යන නිෂ්පාදන දෙකේම බදු වැඩි කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ දුම් කොළ භාවිතය අඩු වෙමින් පවතින බවයි දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති පාලිත අබේකෝන් වැඩිදුරටත් කියා සිටියේ.

– BBC Sinhala –

– ග්ලෝබල් දෙමළ පුවත් –