WORLD NEWS

ඩොනල්ඩ් ට්‍රම්ප් FBI අධ්‍යක්ෂවරයාව සේවයෙන් පහ කරයි

අමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනයට තුඩුදුන් හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ගනුදෙනු සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම හේතුවෙන් එෆ්.බී.අයි. සංවිධානයේ අධ්‍යක්ෂවරයා සිය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පවසන්නේ, එෆ්.බී.අයි. සංවිධානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජේම්ස් කොමේ මේ වන විට සිය කාර්යාලයෙන් ඉවත් කර ඇති බව ය.

අමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී ට්‍රම්ප් රුසියාව සමග පැවැත්වූ සම්බන්ධතා සම්බන්ධයෙන් එෆ්.බී.අයි. සංවිධානය සිදු කළ පරික්ෂණ හේතුවෙන් මෙලෙස එෆ්.බී.අයි. අධ්‍යක්ෂවරයාව ධූරයෙන් ඉවත් කළ බවට ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කරයි.‍

කේසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ජේම්ස් කොමේ විසින් එරට කොංග්‍රස් මණ්ඩලයට පසුගිය සතියේ ලබා දී ඇති බව ය.

මේ අතර ජේම්ස් කොමේ වෙත ලිපියක් යොමු කරන අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ, එෆ්.බී.අයි. සංවිධානය ඵලදායීව මෙහෙය නොවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබා දී ඇති නිර්දේශවලට තමා ද එකඟ වන බව ය.

විනයානුකූලව, අවංකව සහ මනා නීතිමය පාලනයකින් යුතුව එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවුම් ලෙස ආරම්භ කළ යුතු බව එරට නීතිපති ජෙෆ් සෙෂන් පෙන්වා දී තිබේ.

– newsfirst.lk