ARTICLES

වඩුක්කොඩෙයි යෝජනාව, අදට වයස 41යි!

1976 මැයි 14 වැනි දා වඩුක්කොඩෙයි යෝජනාව සම්මත කර අදට වසර 41ක් අවසන් වී තිබේ. යාපනය, වඩුක්කොඩෙයිදී දෙමළ විමුක්ති සන්ධානය විසින් මෙම යෝජනාව සම්මත කර තිබුණි. අහිංසාවදී දේශපානයෙහි දෙමළ පාර්ශවයන් මුහුණ දුන් පරාජය සහ අත්දැකීම් හේතුවෙන් ස්වාධීන ඊළමක් පිහිටුවිය යුතුයි යන යෝජනාවකට තල්ලුවීම වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය විය.

එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ පැවති දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමුළුවේදී.. 01. ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර පළාත් ඇතුලත්ව පාරම්පරික, ස්වෛරීත්වය සහ නිදහසින් යුතු දෙමළ නිජ භූමියක් අවශ්‍යයි 02. එහිදී රටේ ජාතික ජන කොටසක් ලෙස දෙමළ ජනතාවගේ දේශපාලනික ඉලක්කය ඔවුන් විසින්ම තීරණය කර ගැනීමේ ස්වයං-නිර්ණ අයිතිය අවශ්‍යයි. 03. ඒ සඳහා නොබියව කැපවීමෙන් අපගේ ගමන ඉදිරියට ගෙන යායුතු බවට යෝජනා කර තිබුණි.

ජාතික ජන කොටසක් ආරක්‍ෂා කර ගැනීම පදනම් කොට දෙමළ ඊළාම් රජය යළි ලබාදීම සහ යළි ස්ථාපිත කිරීම යන කාරණාව මෙම යෝජනාවෙහි අන්තර්ගතව තිබුණි. 1948දී ශ්‍රීලංකාව නිදහස ලැබීමෙන් පසු දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රතික්‍ෂේපවී, ඒ සඳහා වසර 38ක කාලයක් ශ්‍රී ලංකාව පාලනය කළ රජයන් සමඟ සාකච්ඡා සහ අරගල පවත්වාගෙන ගිය අවස්ථාවක ඉදිරිපත් කළ මෙම යෝජනාව දෙමළ විමුක්ති අරගලයෙහි ඉතා එයිතිහාසික වැදගත් සිද්ධියක් වුණි.

ආයුධ අරගලයට අඩිතාලමක් වූ සිද්ධිය ද මෙයවේ. වසර 40ක පමණ කාලයක් අහිංසාවාදී දේශපාලනයේදී මුහුණ දුන් පරාජය සහ ශ්‍රී ලංකා රජයේ පැහැදිළි දෙමළ මර්ධන ක්‍රියාවළිය ආයුධ අරගලයකට හේතුවක් වුණි. වඩුක්කොඩෙයි යෝජනාව සම්මත කර වසර 40ක් අවසන් වූ නමුත් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණයට විසඳුමක් නැතිව තිබීම මෙම යෝජනාවට තවඳුරටත් ජීවය ලබා දෙමින් තිබේ.

වඩුක්කොඩෙයි යෝජනාවට විශාල සහායක් ලබාදීමේ අයුරින් උතුර නැගෙනහිර දෙමළ ජනතාව දෙමළ විමුක්ති සන්ධානයෙන් තරඟ කළ නියෝජිතයන්ව ජයග්‍රහණයට පත්කර තනි ඊළම සඳහා වූ ජන වරම එම මැතිවරණයේදී දෙමළ ජනතාව පෙන්වාදුන්හ. එය ප්‍රජාතන්ත්‍රික අරගලයක් ලෙස සිදුකළහ. වෙන්වී යෑම පමණක් නොව, කුල භේදය තුරන් කිරීම, පාරම්පරික සංස්කෘතිය ආරක්‍ෂා කිරීම, නිදහස්, ස්වෛරී, ලෞකික, සමාජවාදී සම අයිවාසිකම් වලින් යුතු දේශයක් ගැන වඩුක්කොඩෙයි යෝජනාව පෙන්වාදී තිබුණි.

ජාතියක් මර්ධනයට ලක්වන අවස්ථාවේ, ප්‍රජාතන්ත්‍රවාදය එහි ස්වයං අයිතිය ප්‍රතික්‍ෂේප වන අවස්ථාවක, එම ජාතිය වෙන්වී ගොස් තමන් සඳහා වූ පාලනයක් ස්ථාපිත කර ගැනීමට අයිතියක් තිබෙන බව ජාත්‍යන්තර ජනතාව සඳහා වන අයිතිවාසිකම් ප්‍රතිපත්තීන් පිළිගනියි. ශ්‍රී ලංකාවේ පාරම්පරිකව ජීවත් වූ දෙමළ ජාතිය ද එවැනි යෝජනාවකට යන්නේ නම් එය කෙතරම් දුරකට මර්ධනයකට මුහුණදී ඇතැයි වටහා ගත හැකිය. නමුත් වසර 40ක් ගතවූ නමුත් ශ්‍රී ලංකා දේශපාලනය එය වටහාගෙන නොමැතිවීම අවාසනාවන්ත සිද්ධියකි.

වඩුකොඩෙයි යෝජනාව, ශ්‍රී ලංකාවේ රජයන් දැඩි ලෙස විමර්ශණය කිරීමේ අර්ථය එහි පසුපස ඇති සත්‍යතාවය, සාධාරණත්වය සහ මර්ධනයට ලක්වූ ජනතාවගේ විමුක්තිය පිළිගැනීමට සූදානම් නැති බවය. වඩුකොඩෙයි යෝජනාව දරුණු යෝජනාවක් යැයි පවසන රජයන් දෙමළ ජනතාවට ඉදිරිපත් කළ විසඳුම් මොනවාද? දෙමළ ජනතාවගේ ස්වයං අයිතිය පිළිබඳ ප්‍රශ්ණයට – ශ්‍රී ලංකාවේ ඛාදනය වූ ජාතික ප්‍රශ්ණයට මෙතෙක් සුදුසු විසඳුමක් ඉදිරිපත් නොකළේ ඇැයි? මෙය දරුණු යෝජනාවක් යැයි පැවැසීම එය ප්‍රතික්‍ෂේප කිරීම ස්වයං අයිතිය ප්‍රතික්‍ෂේප කිරීමේ ස්වෝත්තමවාදී බලයෙහි දර්ශණයකි.

පසුගිය මහ මැතිවරණයේදී ෆෙඩරල් පාලනය ඉදිරිපත් කළ යුතු යැයි ඉල්ලා දෙමළ ජනතාව ජන්දය ප්‍රකාශ කර තිබුණි. වඩුකොඩෙයි තනි ඊළාම් යෝජනාවට පසු, ආයුධ රැගෙන තනි ඊළමක් ඉල්ලා සිදුකළ යෝජනාවට පසුව, 13වැනි සංශෝධනය ද දෙමළ ජනතාව විසින් ප්‍රතික්‍ෂේප වන අවස්ථාවක මෙම ෆෙඩරල් ක්‍රමය උතුර නැගෙනහිර ජනතාව අවධාරණය කළෝය. වඩුකොඩෙයි යෝජනාව සම්මත කර වසර 40ක් අවසන් වී තිබෙන අවස්ථාවක ෆෙඩරල් ඉල්ලීම ගැන ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ පාලකයන් ජාතික ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් කෙතරම් උනන්දුවකින් සිටින්නේ දැයි පෙන්වා දෙනු ඇත.

ෆෙඩරල් බෙදුම්වාදය නොවන බවත් උතුර නැගෙනහිර පළාත්වල පාරම්පරිකව ජීවත් වූ දෙමළ ජාතිය තම ස්වෛරී භාවය, අහිමිවූ පාලනය ඉල්ලා සිටීම එම ජාතියෙහි අයිතිවාසිකමක් බව දෙමළ නායකයන් අවධාරණය කර සිටියි. තවද ෆෙඩරල් පාලන ක්‍රමය තමයි තම ඉලක්කය බවත් එයින් කිසිවිටක පසුබට නොවන බවද දෙමළ නායකයන් ජනතාව අතර තරයෙන් පවසා සිටියි. අනිත් පැත්තෙන් ෆෙඩරල් පාලනයකට කිසිඳු ඉඩක් නොමැති අතර බලය බෙදාදීමක් සිදුකරන බවට ශ්‍රී ලංකා රජය සිංහල ජනතාව වෙත පවසා සිටියි.

පසුගිය කාලයේ දෙමළ ඊළමටත් එකඟ නැහැ, මහින්ද පාලනයේදී 13ටත් එකඟ නැහැ, දැන් ෆෙඩරල්වලට ද එකඟ නොවන්නේ නම් දකුණෙන් දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්ණයට දෙන විසඳුම කුමක් ද? දෙමළ ජනතාවට ස්වයං-නිර්ණ අයිතිය තිබෙන බවට බහුතර සිංහල ජනතාව, සිංහල පෙරටුගාමීන් ද පිළිගෙන තිබේ. නමුත් තමන් අතර පවතින දේශපාලන බලය වෙනුවෙන් කථා විශයක් සඳහා රාජපක්‍ෂවරුන් වැනි ජාතිවාදීන් එය කඩාකප්පල් කරමින් සිටියි.

රාජපක්‍ෂ 13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්‍ෂේප කළ පුද්ගලයෙකි. ස්වෝත්තමවාදීන්ව ගත් කළ දෙමළ ජනතාවට කිසිඳු අයිතිවාසිකමක් ලබා නොදිය යුතුයි යන්න ඔවුන්ගේ ස්ථාවරය වේ. සිංහල ස්වෝත්තමවාදී දේශපාලනය තුළ එකම විසඳුම දෙමළ ජාතිය විනාශ කර තුරන් කිරීමය. ෆෙඩරල්වලට කිසිඳු ඉඩක් නැහැ යැයි රාජපක්‍ෂවරුන්ට බියෙන් වත්මන් රජය පවසන්නේ ද? එනම් රාජපක්‍ෂ පාලනය සහ වත්මන් පාලනය දෙමළ ජනතාවට සලකන්නේ එකම ආකාරයටය? දෙමළ ජනතාවගේ අයිතිවාසිකම ඔවුන්ට ලබාදිය යුතු යැයි පවසන වත්මන් රජය ෆෙඩරල් විසඳුම ප්‍රතික්‍ෂේප කිරීම තුළින් “කතාව දෝලාවෙන් ගමන පයින්“ යැයි ක්‍රියා කරනවා ද?

වඩුකොඩෙයි යෝජනාව සම්මත කර වසර 41ක් අවසන් වූ නමුත් ශ්‍රී ලංකා දේශපාලනය සහ ජාතික ප්‍රශ්ණයට විසඳුම කෙරෙහි උනන්දුව, ස්වයං අයිතිය ලබාදීම පිළිබඳ ප්‍රවේශය ද වඩුකොඩෙයි යෝජනාව සම්මත වූ එදා කාල වකවානුවේම පවතියි. එක් පැත්තකින් මෙය ඉතිහාසය ඉගෙන ගැනීම ප්‍රතික්‍ෂේප කිරීමේ කටයුත්තකි. මෙතරම් අත්දැකීම් සිදුව ඇති නමුත් ජාතික ජාතියක ස්වයං අයිතිය ලබාදීම බැහැර කිරීම, තහනම් පැනවීම සුදුසු ක්‍රියාවක් නොවේ.

‘දෙමළ කිසිවකු නො දෙනු‘ යැයි පවසන ස්වෝත්තමවාදයට ඇහුම් කන් දිය යුතු නම්, මෙය කාගේ පාලනයක් ද? මෙහි ජීවත් වෙන දෙමළ ජනතාවගේ අනාගතය කුමක් විය හැකි ද? වසර 60ක කාලයක් අරගලය නියැලී සිටින ජාතියක තත්වය කුමක් විය හැකි ද? වසර 30ක් ආයුධ අරගලයක නිරතවූ ජාතියක සිතීම කුමක් විය හැකි ද? මේ ගැන ශ්‍රී ලංකාව පාලනය කරන්නන්, ජාත්‍යන්තරය සහ අපද සිතා බැලිය යුතුයි. ජාතික ප්‍රශ්ණයට විසඳුම සම්බන්‍ධ කටයුත්ත ජාතික ප්‍රශ්ණයේ නිර්මාතෘවරුන් විසින් ඉතා ගැඹුරින් ගැටළුකාරි තත්වයට පත්කර, එමඟින් ඔවුන්ගේ යහපත නෙලා ගනිමින් සිටියි.

දැනට ශ්‍රී ලංකාව පාලනය කරන රජය දෙමළ ජනතාව සමඟ සංහිඳියාවෙන් කටයුතු කරන බව පවසයි. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම ඔවුන්ට ලබාදී තිබුණේ නම් ආයුද අතට නොගෙන සිටිනු ඇතැයි පවසා සිටියි. තම පාලන කාලයේ අඩක් අවසන් වී හමාරය නමුත් විසඳුම ගැන වූ මුලපිරුම මන්දකාමීව ප්‍රතික්‍ෂේප වූ තත්වයක තිබේ. දෙමළ ජනතාවගේ දේශපාලනික විසඳුම යන බලාපොරොත්තුව සැක සහිත තත්වයකට තල්ලු කරමින් තිබේ.

දෙමළ ජනතාව වෙත සිදුකළ අඛණ්ඩ ජාති සංහාරය, දෙමළ ජනතාවගේ ස්වයං අයිතිය ප්‍රතික්‍ෂේප කිරීම, ප්‍රජාතන්ත්‍රික මාර්ගයේ පරාජය තමයි වඩුකොඩෙයි යෝජනාව උදා කළේ. දැනටත් දෙමළ ජනතාවගේ අයිතිය ප්‍රතික්‍ෂේප කරමින් ඔවුන්ව දැඩි මර්ධනයකට ලක්කිරීමේ කථාවන් දකුණේ සිදු කරති. ස්වෝත්තමවාදයේ බිඳ වැටීමකින් තොරව, උතුර නැගෙනහිර ජනතාව අද මුහුණ දෙමින් සිටින ජීවිතය හේතුවෙන් දෙමළ ජනතාව යළි වඩුකෝඩෙයි යෝජනාවට තල්ලු කරනු ඇතැයි අද වැනි එයිතිහාසික දිනයක පෙන්වාදීම වැදගත්ය.

-ග්ලෝබල් දෙමළ පුවත් සඳහා දීපච්සෙල්වන් –
පරිවර්ථනය රීසාහ් –