SRILANKAN NEWS

ඉරණමඩු බෞද්ධ විහාරය : සිංහලීකරණය සඳහා වූ සැලස්මක් – නම සඳහන් කිරීමට අකමැත්ත පළ කල හමුදා නිළධාරි…

militarisation_CIකිලිනොච්චිය ඉරණමඩු කනකාම්බිකයි අම්මන් කෝවිල් භූමියේ ඉදි කරන බෞද්ධ විහාරය සැලසුම් සහගත සිංහලීකරණයේ වැඩපිළිවලක් බව පැවැසූ නම සඳහන් කිරීමට අකමැත්ත පළ කළ හමුදා නිළධාරියෙක්, මෙය දෙමළ – සිංහල ජනතාව අතර දැවැන්ත ප්‍රශ්ණයක් ඇති කිරීමේ ක්‍රියාවක් බව ද පැවැසීය.

කිලිනොච්චිය ඉරණමඩු සහ මුරිකන්ඩි ආසන්න ප්‍රදේශයේ සැලසුම් සහගත ජනපදයක් ඉදිකිරීමේ සැලස්මක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂ විසින් ක්‍රියාත්මක කළ බවත්, එහි ඉදිරි කටයුතු දැන් ක්‍රියාත්මක වන බව ද එම හමුදා නිළධාරිවරයා පවසා සිටියේය.

එනම්, මුරිකන්ඩි සහ කොක්කුවිල් අතරවූ ප්‍රදේශයේ මහින්ද රජයේ චින්තනයට අනුව කැලෑව මැදින් විශාල මහ මාර්ග පහක් ඉදිකරන ලෙස නියෝග කෙරුණි. විශාල හමුදා කඳවුරු ඉදිකර හමුදා ජනාවාසයක් ඉදි කිරීමට ද සැලසුම් කර තිබුණි. එලෙස ඉදිකළ මාර්ග දැන් ඉදිකරන බෞද්ධ විහාරයට ළඟා වන අයුරින් තිබීම දුටුවේ නම් එම සැලස්ම වටහා ගත හැකි බව පවසා සිටියේය.

කිලිනොච්චිය සහ උතුරේ මධ්‍යම ස්ථානයක මෙලෙස ජනවාසයක් ඉදිකිරීමට පසුගිය රජය සැලසුම් කළ බව පවසා සිටි එම නිළධාරිවරයා, දැන් ඉදිකරන බෞද්ධ විහාරය සිංහල පදිංචිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිකරන බවත්, ඉකුත් මාර්ග පහ දෙමළ ජනතාවට නොපෙනන අයුරින් ඉදිකර තිබෙන බව ද සඳහන් කළේය.

තවද ඉරණමඩු කනකාම්බිකයි අම්මාන් කෝවිලේ බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීමේ කටයුතු ආරම්භ කිරීමත් සමඟම මෙම විහාරය ඉදිකිරීමේ කටයුතු ද හමුදාව විසින් ආරම්භ කළ බවත්, මෙයට හමුදාවේ ඇතැම් ඉහළ නිළධාරීන්ගේ නියෝගය ද හේතුවක් බව පවසා තිබේ. පසුගිය රජය සැලසුම් කළ බෞද්ධ විහාරය පසුගිය රජයට පක්‍ෂපාතිව කටයුතු කරන හමුදා නිළධාරීන් විසින් දැන් ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.

රටතුල යළි යුද්දයක් ඇතිවීම ගැන තමන්ට කිසිඳු කැමැත්තක් නැති හෙයින් මෙම තොරතුරු පවසා සිටින බවත්, මෙවැනි ක්‍රියා කටයුතු නිසා හමුදා හා රජයට එරෙහිව දෙමළ ජනතාව අතර දැඩි වෛරයක් හා අප්‍රසාදයක් ඇති විය හැකි බව ද ඔහු පවසා සිටියේය.

උතුරේ පිහිටි දෙමළ ජනතාවගේ ආගමික ප්‍රසිද්ධ කෝවිල් භූමියක මෙලෙස බෞද්ධ විහාරයක් ඉදිකිරීම දෙමළ ජනතාව වේදනාවට පත්කරන ක්‍රියාවක් බවත්, බුදු රජාණන් වහන්සේ මෙය කිසිසේත්ම පිළිනොගන්න බව ද පවසා සිටියේය. නමුත් දෙමළ ජනතාවට දැනට පවතින දේශාපලනික වාතාවරණය තුල ප්‍රජාතාන්ත්‍රිකව සටන් කර සාධාරණය ලබාගත හැකි යැයි ඔවුන්ට විශ්වාසයක් ලබාදීමට කැමැත්තෙන් සිටින බව ද එම හමුදා නිළධාරිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.