SRILANKAN NEWS

මුසලි ඉඩම් ගැන මුස්ලිම් නියෝජිතයන් කණ්ඩායමක් ජනපති ලේකම් සමඟ සාකච්ඡා කරයි..

1990 වසරේදී කොටි සංවිධානය විසින් මුස්ලිම් ජනතාව පලවා හැරීමට පෙර මුසලි සහ මන්නාරම දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව ජිවත් වූ ප්‍රදේශයන් ඉවත් කර වන රක්‍ෂණ ප්‍රදේශයන් ප්‍රකාශණය කිරීමට ජනාධිපති ලේකම් පි.බී. අබයකෝන් මහතා එකඟ වූ බවට මුස්ලිම් කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මුසලි ප්‍රදේශයේ මාවිල්ලු වන සංරක්ෂණ ප්‍රකාශණයෙන් එම ප්‍රදේශයේ පාරම්පරිකව ජීවත් වූ මුස්ලිම් ජනතාවට සිඳුවූ අසාධාරණය ගැන ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු ඉහළ නිළධාරීන්ගේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද (16) පැවැත්වුණි.

මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් මුස්ලිම් සංවිධානවල සම්මේලනය වන මුස්ලිම් කවුන්සිලය, මුස්ලිම් සිවිල් සංවිධානවල නියෝජිතයන් සහ, මුස්ලිම් ඇමැතිවරුන් ද සහභාගි වූ අතර, එහිදී මුසලි ප්‍රදේශයේ පාරම්පරික ඉඩම් සම්බන්‍ධයෙන් ජනතා අදහස් විමසා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක් ද පත්කිරීමට තීරණය කළ බව සඳහන්වේ.

ජනාධිපති සමඟ මේ සම්බන්‍ධයෙන් සාකච්ඡා කර එම කමිටුවේ කාල සීමාව ගැන ඉදිරියේදී දැනුම් දෙන බවත්, මෙම ප්‍රශ්ණය ගැන කඩිනමින් විසඳුමක් ඉදිරිපත් කර පීඩාවට පත්වූ ජනතාවට කඩිනමින් සහන ලබාදිය යුතු යැයි ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබාදී ඇති බවත්, 1990දී පලවා හැරින ලද එම ජනතාවට විශාල අසාධාරණයක් සිදුව ඇති හෙයින් තවඳුරටත් ඔවුන්ට අසාධාරණය සිදු නොවීමට ඉඩනොදෙන බවට ජනාධිපති ලේකම්වරයා එහිදී පවසා සිටි බව වැඩිදුරටත් සඳහන් වේ.