SRILANKAN NEWS

මුල්ලිවායිකාල් අනුස්මරණ කටයුතුවලට මුල්ලතීව් අධිකරණයෙන් තහනම් නියෝගයක්..

දේවස්ථානයක පියතුමෙකු සහ පොදු සංවිධාන කිහිපයක් විසින් හෙට දින මුල්ලිවායිකාල් දේවස්ථානයක අසල පැවැත්වීමට සැලසුම් කළ මුල්ලිවායිකාල් අනුස්මරණ කටයුත්තකට මුල්ලතිව් අධිකරණය විසින් අතුරු තහනමක් පනවා තිබේ.

ඉකුත් තහනම් නියෝගයේ ඉදිරිපත් කළ ඒ වාර්තාවට අනුව මුල්ලිවායිකාල් නැගෙනහිර පිහිටි කතෝලික දේවස්ථානය අසල අනුස්මරණ කටයුතු සිදු කිරීමෙන් රටේ ජාතික ආරක්‍ෂාව, සාමය සහ සංහිඳියාවට බාධාවක් විය හැකි බැවින් රායේන්ද්‍රන් එලිල්රායන් පියතුමන් ඇතුළු සියළු දෙනා දණ්ඞ නීතියේ 106වන වගන්තියට අනුව දින 14කට අතුරු තහනම් නියෝගයක් මුල්ලතිව් අධිකරණය විසින් පනවන බව සඳහන් කර තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් කිලිනොච්චිය සහ මුල්ලතිව් දිස්ත්‍රික්ක නියෝජ්‍ය පොලිස්පතිගෙන් විමසූ විට..

ඉකුත් ස්ථානයේ සංවිධානය කළ වැඩසටහනට මියගිය පුද්ගලයන්ගේ නම් කොටන ලද ගල් තැන්පත් කර සිහිපත් කිරීමේ කටයුතු සිදුකරන බවට පවසා තිබූ බවත්, එහි සඳහන් වන මියගිය පුද්ගලයන්ගේ නම් කව්රුන්ගේ දැයි තමන්ට සොයා ගැනීමට නොහැකි බවද පවසා සිටියේය.

තවද මෙම කටයුත්ත හේතුවෙන් රටේ ජාතික ආරක්‍ෂාව, සාමය සහ සංහිඳියාවට බාධාවක් ඇති විය හැකි හෙයින් මුල්ලතිව් පොලීසිය විසින් උක්ත කාරණා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුල්ලතිව් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව ද පවසා සිටියේය.

එම ස්ථානයේ පමණක් අනුස්මරණ කටයුතු සිදුකිරීමට තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත්, අනෙකුත් ස්ථානවල සිහිපත් කිරීමේ වැඩසටහන් පැවැත්විය හැකි බවත්, රටේ ජාතික ආරක්‍ෂාව, සාමය සහ සංහිඳියාවට බාධාවක් නොවන අයුරින් තම කටයුතු සිදුකර ගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.