SRILANKAN NEWS

යෝෂිත යළි රට යන්න අවසර ඉල්ලයි

විදෙස් ගතවීම සඳහා අවසර ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා යොමුකර ඇති ඉල්ලීම ලබන 23 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

CSN නාලිකාව සම්බන්ධ නඩුවේදී මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබාදීමේදී කොළඹ මහාධිකරණය විසින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත. ඒ එක ්ඇප කොන්දේසියක් ලෙස ය.

කෙසේවෙතත් තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාස දෙකක කාලයක් ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බැවින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ (19) සිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේ රජයේ නීතීඥවරයා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කල් අවශ්‍ය බව ය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා අදාළ ඉල්ලීම ලබන 23 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර එදිනට නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස රජයේ නීතීඥවරයාට දැනුම් දී තිබේ.

යෝෂිත රාජපක්ෂ මහතා මීට පෙරද වරින් වර අධිකරණයෙන් අවස ලබාගෙන තිබිණි.