SRILANKAN NEWS

මල්ලවපිටිය මස්ජිදයට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව ආරක්‍ෂාව ලබා දෙන්නැයි ඉල්ලීමක්

කුරුණෑගල – මල්ලවපිටිය ප‍්‍රදේශයේ පිහිටි ආගමික සිද්ධස්ථානයකට අද අලූයම බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව මුස්ලිම් ආගමික ස්ථාන සහ මුස්ලිම් ජනතාවගේ දේපළවලට නිසි ආරක්‍ෂාවක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් පෙරටුගාමී පෙරමුණ පක‍්ෂයේ ජාතික සංවිධායක අබ්දුල් සත්තාර් මහතා විසින් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

දශක තුනක යුද්දය අවසන්වීමෙන් පසු මුස්ලිම් ජනතාව ඉලක්ක කර නැවැත රටතුළ යුද්දයක් ඇති කිරීමේ අරමුණින් සිංහල හා මුස්ලිම් ජනතාව අතර ගැටළුකාරි තත්වයක් ඇති කිරීමේ අයුරින් දුෂඨ බලවේග කිහිපයක්ම පසුගිය කාලය තුළ ඉතා සැලසුම් සහගතව කටයුතු කරමින් සිටියි.

අලුත්ගම සිද්ධියෙන් අනතුරුව මාස දෙකකට වැඩි කාලයක් මුස්ලිම් ආගමික ස්ථානවලට ආරක්‍ෂාව ලබාදී තිබුණි. අදද එවැනි අසාමාන්‍ය තත්වයක් ඇතිවී තිබේ.

විශේෂයෙන් ලබන සතියේ ආරම්භ වන රමසාන් උපවාස කාලයේ මුස්ලිම් කාන්තාවන් ඇතුළු මුස්ලිම් ජනතාව රාත්‍රී කාලයේ ආගමික කටයුතු සඳහා මස්ජිදයට යෑමේ අවශ්‍යතාවයක් තිබෙන හෙයින්, මේ දිනවල පවතින අනාරක්‍ෂිත තත්වය හේතුවෙන් මුස්ලිම් ආගමික ස්ථානවලට ආරක්‍ෂාව ලබාදීමට පියවර ගත යුතු යැයි අබ්දුල් සත්තාර් මහතා වැඩිදුරටත් ඉල්ලා තිබේ.