SRILANKAN NEWS

කැබිනට් වෙනස රනිල්-මෛත්‍රී හවුලේ බොරු රංගනයක් – අනුර කුමාර

කැබිනට් වෙනස රනිල්-මෛත්‍රී හවුලේ බොරු රංගනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ බත්තර මුදල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, “ආණ්ඩුව මාරු කරලා රට හදන්න බැරි වුණ එකේ කැබිනට් එක මාරු කරලා රට හදන්න පුළුවන්ද? එනිසා මෙය රනිල්-මෛත‍්‍රී හවුලේ බොරු රංගනයක් විතරයි. පහුගිය දින ගණනාවක් තිස්සේ මාධ්‍යවල මාතෘකාව බවට පත්වුණේ කැබිනට් මණ්ඩල සංශෝධනයයි. රටේ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යට ගහන්න ඒකට පුළුවන් වුණා. ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ජනතාව අතරමං කිරීමටයි මේ කැබිනට් සංශෝධනය ගෙනාවේ. ඒ නිසා මෙයින් රට ඉදිරියට පියවරක් තබනවා වෙනුවට සිදුවන්නේ අර්බුද රැසකට මුහුණ දීමට සිදුවීමයි. ඒ නිසා තවදුරටත් මේ පාලකයින්ට ඔවුන්ගේ ප‍්‍රතිපත්තිවලට මේ රට හෝ ජනතාව ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් නැහැ. දැන් රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ ප‍්‍රතිපත්තිවල මාරුවක් පමණයි. ඒ සඳහා පෙරට එන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ ආණ්ඩුව බලයට පත්වනවිට වංචාවට දූෂණයට හවුල් වූවන් අත්අඩංගුවට ගෙන විභාගයට ලක්කොට දඩුවම් ලබාදීමට පොරොන්දු වුණා. දැන් වසර දෙකහමාරක් ගතවෙමින් තිබෙනවා, පොරොන්දු වූ කිසිවක් ඉටුකරන්න මේ පාලකයින් සමත් වෙලා නැහැ. මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේ අරමුණ ජනතාව හෝ රට සංවර්ධනය කිරීමේ ඉදිරි වැඩපිළිවෙළවල් සකස් කිරීම නෙවෙයි. මෙහි වෙනත් අරමුණු කිහිපයක් තිබෙනවා. “ යැයි අනුර කුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.