WORLD NEWS

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට සැකපිට 7ක් අත්අඩංගුවට

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට මේ වන විට පුද්ගලයින් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එංගලන්ත පොලීසිය සඳහන් කළේ, ඊට සම්බන්ධ බව කියන ත්‍රස්ත ජාලයක් පිළිබඳව මේ වන විට විමර්ශන සිදු කෙරෙන බව ය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සල්මන් බේඩිගේ පියා සහ බාල සොහොයුරා ලිබියාවේ උප හමුදාව විසින් රැඳවුම් භාරයට ගනු ලැබ ඇති අතර වැඩිමල් සොහොයුරා එංගලන්ත ආරක්ෂක අංශවල රැඳවුම් භාරයට පත්විය.

මේ අතර ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අයි. එස්. ත්‍රස්ත ජාලයට සම්බන්ධ අයෙකු බව බ්‍රිතාන්‍ය අභන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය.

එම අමාත්‍යවරයා සඳහන් කළේ, මෑතකදී ලිබියාවේ සිට එංගලන්තයට පැමිණි ඔහු සිරියාවේ ද සංචාරය කරන්නට ඇතැයි සැක පළ වී ඇති බව ය.

මැන්චෙස්ටර් නුවරදී පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේගේ සංගීත සංදර්ශනයක් අවසානයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 22දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් ව 64 දෙනෙකු තුවාල ලැබුහ.

මේ හමුවේ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ස්ථාන වෙත හමුදා නිලධාරීන් වැඩි සංඛ්‍යාවක් යෙදවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව ය.