SRILANKAN NEWS

ශීලාචාර රටක වර්ගවාදී ප්‍රකාශ බැහැ – වික්ටර් අයිවන්

සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට හෝ අයත් වර්ගවාදය පතුරවන පුද්ගලයන්ට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ මුස්ලිම් කඩසාප්පුවලට පහර දීම සම්බන්ධයෙන් පුනරුදය ව්‍යාපාරය විසින් ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේ බදාදා (මැයි 24) සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

“ඉන්දියාවේ නම් වර්ගවාදී කතාවක් කළොත් ඒ පුද්ගලයව අත්අඩංගුවට ගන්නවා. දඬුවම් කරනවා. ලංකාවේ බලන්නකෝ රූපවාහිනියේ කතා කරන දේවල්. එහෙම කතා කරන්න පුලුවන්ද ශීලාචාර රටක” යනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් වැඩිදුරටත් සඳහන් කළේය.

“එහෙම කතා කරන්න බැහැ, සිංහල කෙනෙකුටත් බැහැ, දෙමළ කෙනෙකුටත් බැහැ, මුස්ලිම් කෙනෙකුටත් බැහැ. සංයමයක් තියෙන්න අවශ්‍යයි”

ඇතැම් ප්‍රදේශවල තෝරා ගත් මුස්ලිම් වෙළෙඳසැල් ගිනි තැබීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් ව්‍යාප්ත වන බව පෙනෙන්නට ඇති බව පවසන පුනරුදය ව්‍යාපාරය එම විනාශකාරී ක්‍රියාදාමය වර්ධනය වීමට ඉඩ දී බලා සිටියහොත් රටට සිදුවිය හැකි හානීය අතිවිශාල බව පෙන්වා දෙයි.

ඉහත කී මාධ්‍ය හමුවට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මේ අතර ජනවර්ග අතර සමඟියට බාධා වන ආකාරයේ සිදුවීම් සඳහා වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ බලධාරීන්ට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එවැනි සිදුවීම් තම බල ප්‍රදේශය තුළ ඇති නොවීමට වගබලා ගන්නා මෙන් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට නියම කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

බීබීසී සිංහල