SRILANKAN NEWS

හෙරොයින් සමග පාකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට

පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාව හරහා  මාලදිවයින බලා යාමට පැමිණි පාකිස්ථාන ජාතිකයෙකුගේ  ගමන් මල්ලේ සූක්ෂම ලෙස සගවාගෙන පැමිණි රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය සමත් වුණා.

යූ එල් 184 දරන ගුවන් යානයෙන් මාල දිවයින බලා යාමටයි මේ පුද්ගලයා පැමිණ ඇත්තේ. නමුත් එදින මාලදිවයින් බලා ගිය ගුවන්යානයෙන් ඔහු පිටව ගොස් නැහැ. පාකිස්තානයේ සිට රැගෙන ආ තම ගමන්මල්ල ගුවන්තොටු පොළේ තබා එදින ඔහු කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගොස් තිබෙනවා. නැවත පසුදා ඔහු පැමිණ ඇත්තේ යූ එල් 115 දරණ ගුවන් යානයෙන් පිටත්ව යාමටයි.

කිසියම් හෙතුවක් නිසා එදිනද ඔහු එම ගුවන් යානයෙන් පිටව ගොස් නැහැ. පසුව තම ගමන් මල්ල රැගෙන කටුනායක ගුවන්තොටුපොළෙන් එලියට ඒමට උත්සාහ දරද්දී කටුනායක රේගු මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන  පරීක්ෂාවට ලක් කළා. එහිදී ඔහුගේ ගමන් මල්ලලේ පතුලේ තිබී කිලෝ එකකට ආසන්න හෙරොයින් තොගය සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රැපියල් කෝටියකට ආසන්න බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක පවසන්නේ. මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු කටුනායක රේගු අධ්‍යක්ෂ රෝහිත උඩුවාවලගේ උපදෙස් පරිදි පොලිස් මත් ද්‍රව්‍ය නාශක ඒකකයට භාර දීමට නියමිතයි.