ARTICLES

ලැසිල් බෝම්බය, දෙමළ නම්වලට බියවීම සහ මුස්ලිම් විරෝධී කලු ජූලිය – සුනන්ද දේශප්‍රිය

වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් අදාළ ඇමැතිවරුන්ගේ පටි ගැලවී යන ප්‍රකාශයක් පසුගියදා වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් කරන ලදී. ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසි කරන ලද්දේ ජනාධිපති සිරිසේන විසිනි.

ඔහු කීවේ මෙයයි: ‘මගේ සේවය අහෝසි කැරැණේ ලක් සතොස මගින් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේ දී සිදු වී ඇති බවට ලැබුණ පෙත්සම් සහ පැමිණිලි විභාගයට ගැනීම නිසා යැයි සිතමි. එම අවස්ථාවෙහිදී ‘මේ කටයුතු තරමක් හෙමින් කරන්න යැයි ජනාධිපති ලේකම්තුමා මට කීවේය. දූෂිත පුද්ගලයන් මේ ආණ්ඩුව තුළත් සිටී. ඒ නිසා බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ දියාරු කිරීම පිනිස ඒවාට තිරිංග දැමිමට අවශ්‍ය වූයේ යැයි මම සිතමි. මට මගේ සේවය අවසන් කිරීමේ ලියුම ලැබෙන තෙක් මා ඒ ගැන දැන සිටියේ නැත.’

මෙම ලක් සතොස සහල් ආනයන වංචාව රුපියල් මිලියන ගණනාවක එකක් වූ අතර ඊට සම්බන්ධ බවට චෝදනා ලද ඇමැතිවරයා රිශාඩ් බදුර්දීන් ය. එම පරීක්ෂන හිමින් කරන්නැයි කීවේ ජනාධිපති ලේකම් අබේකෝන්ය. ලැසිල් සිල්වාගේ සේවය හිටි හැටියේ අහෝසි කළේ ජනපති සිරිසේනය.

ලැසිල් ද සිල්වාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් හෝ මානව හිමිකම් කොමිසම විසින් හෝ පරික්ෂා කළ යුතු තරම් එකකි.

මෑත කාලයෙහි බ්‍රසීලයේ සහ දකුණූ කොරියාවෙහි ජනාධිපතිවරුන්ට නිසි කාලයට පෙර ගෙදර යෑමට සිදුවූයේ දූෂණ චෝදනා නිසාය. අපේ රටේ එවැනි ප්‍රශ්ණයක් නිසා ගෙදර යෑමක් තබා පුළුල් ජනමාධ්‍ය සාකච්ජාවක් සිදු වන්නේ නැත.

සුනිල් පෙරේරා හරියටම හරිය: ලංකාවේ එහෙම වෙන්නේ නෑ! ලැසිල් සිල්වා මේ කියන්නේ එංගලන්තයේ සිදුවූ දෙයක් ගැන විය යුතුය.

දෙමළ නම්වලට බයද?

දෙමළ ජනයා යුද්ධයේදී මිය ගිය සිය ඥාතීන් පවත්වන්නට සුදානම් කළ අනුස්මරණ උත්සවයක් ආණ්ඩුව පසුගිය 18දා තහනම් කළේය. එම අනුස්මරණ උත්සවයෙහිදී යුද්‍ධයෙන් මිය ගිය පිරිස්හි නම් කෙටු කළුගල් පවුරු මුලතිව්හි දේවස්ථානයට යාබද ඉඩමක පිහිටුවීමටද සංවිධායකයින් සූදානම් කර තිබුණි.

මෙම අනුස්මරණෝත්සවය සංවිධානය කරන ලද්දේ එලීල් රාජේන්ද්‍රන් නම් කතෝලික පියතුමාගේ ප්‍රධානත්වයෙනි. පොලීසිය අධිකරණ නියෝගයක් මගින් තහනම් කළේ එම උත්සවයයි. එසේ නමුත් පසුව දේවස්ථානය තුළ පමණක් එම අනුස්මරණ උත්සවය පැවැත්වීමට අධිකරණය අවසර ලබා දුන්නේ ය. මේ වන විට එලීල් පියතුමා තෙවතාවක්ම පොලීසියට කැඳවා ප්‍රශ්ණ කර තිබේ.

මෙම සුවිශේෂී අනුස්මරණෝත්සවයට බිය වූ ආණ්ඩුව උතුරු නැගෙනහිර පුරා පැවැති අනෙක් එවැනි කිසිදු අනුස්මණෝත්සවයක් තහනම් කළේ නැත. අවසන් සටන් ඇතිවූ සහ දහස් ගණනක් මිය ගිය මුල්ලිවයික්කාලහිම එවැනි අනුස්මණෝත්සව දෙකක් පවත්වන ලදී.

ආණ්ඩුව මෙමගින් කියන්නට අදහස් කරන්නේ සිය මියගිය ඥාතීන්ගේ නම් කලුගල් පුවරුහි කෙටීම, එම නම් අතර එල්ටීටීඊ සාමාජිකයින්ගේ නම් ද අතුළත් වන විට එය වරදක් බවද? එසේ නම් 1989 – 90 දෙවසර තුළ ශ්‍රී ලංකාවෙහි ජන ඝාතන සිවිල් යුද්ධයක් දියත් කළ ජවිපෙ නායක රෝහණ විජේවිර අනුස්මරණ උත්සව විදේශීය නියෝජිතයින්ගේ පවා සහභාගිත්වය ඇතිව පැවැත්වන්නේ කෙසේද? එවැනි අනුස්මරණයන්හිදී ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ව්‍යාපාරයේ නායකයින් පවා සැමරීමට අවසථාව ලැබේ.

යුද්ධයේ ගොදුරු බවට පත් දෙමළ ජනයා සහ දෙමළ සටන්කාමීන් සැමැරීම තහනම් වන්නේ ඔවුන් දෙමළවීම නිසා නේද?

මුස්ලිම් විරෝධී කලු ජූලිය

පසුගිය සති ගණනාව මෙරට මුස්ලිම් ජනයා භීතියෙන් මුසපත් කළ ප්‍රහාර ගණනාවකින් අඳුරු විය. දැනට වාර්තා වි ඇති අන්දමට එම ප්‍රහාරයන් ගණනාව 20කට අධිකය‍. මුස්ලිම් දේවස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන මෙම ප්‍රහාරයන්හි ඉලක්ක වී ඇති අතර පැහැදිළිවම මේ අහම්බ සිදුවීම් නොව සංවිධානාත්මක සහ සම්බන්ධීකරණයකින් යුතුව කැරෙන ප්‍රචන්ඩ දේශපාලනයකි. මේ වනාහී මුස්ලිම් විරෝධී කලු ජූලියක් බවට පරිවර්ථනය විය හැකි භයානක ප්‍රවණතාවයකි.

2015 ජූනි මාසයේ සිට 2016 නොවැම්බරය දක්වා මෙරට දිසා 13කදී මුස්ලිම් දේවස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන 64ක්ට එල්ල වූ ප්‍රහාර වාර්තා වී ඇත.

නමුත් මෙම ප්‍රචන්ඩත්වය වැළැක්වීමට ආණ්ඩුව කළ දෙයක් හෝ කරන දෙයක් නැත.

මෙම ප්‍රහාරයන් අතර ඉතා දරුණූ වාචික වෛර ප්‍රහාරයන්ද වේ. විමල් වීරවංසට සම්බන්ධ වෙබ් අඩවියෙහි ලියා ඇති පරිදි ‘අල්ලා නම් කෙනෙකු නැත.’ යනුවෙන් පවා ඥානසාර ප්‍රකාශ කර තිබේ. එම වෙබ් අඩවිය මෙසේ කියයි: ‘අ*** කියා එකෙක් ඇත්තෙත් නෑ.. උගේ ලබ්බක් තියනවලූ මෙතන..’ ඥාණසාර හිමි සෝමාවතියේ අන්‍යාගමික අක‍්‍රමනයට එරෙහි සටන අතට ගනී.. එය තවදුරටත් මෙසේ කියයි: ‘මේ තුන් ලෝකෙ කොහේ හෝ ඉන්නවා හෝ දැකපු හෝ කෙනෙක් නැති අල්ලා කියා කෙනෙක් ට අපහාස කලා කියා පරීක්‍ෂන පවත්වනව. හාමුදුරුවන් ට කියන්න තියෙන්නේ අල්ලා වත් කැඳවන්න කියා.’

බුදුන් වහන්සේ දුටු කෙනෙකු අද මෙලොව සිටීද? බෞද්ධාගමේ නාමයෙන් බෝධිපුජා පවත්වන දහස් ගණන් විශ්වාස කරන්නේ බුදුන් සතු යම් දේව බලයකින් සැපත ලඟා කරගැනීමට නේද? වත්මන් බුදු දහම අනුව කැරෙන බොහෝ ආමිස පූජාවිධි පදනම් වන්නේ අප නොදන්නා ගුප්ත බලවේගයන් කෙරෙහි ඇති විශ්වසයන් මත පදනම්වය.

අල්ලා පිළිබඳ විශ්වාසය ද දෙවියන් පිළිබඳ ක්‍රිස්තියානි විශ්වාසයද එවැනිය. එම විශ්වාසයන් විවේචනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයෙහි අයිතියක් තිබේ. වරද ඇත්තේ එවැනි විවේචනයන් වෛර ප්‍රචාරයන් බවට පත්වන විටයි.

මුස්ලිම් ප්‍රජාවට සහ ඔවුන්ගේ විශ්වාසයන්ට එරෙහිව කැරෙන ප්‍රහාරයන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානියකු මෙසේ කියා තිබුණි. ‘‘මේ මුස්ලිම් ජනයාගේ ජන්ද අපට ලැබීම වළක්වන කුමංත්‍රණයකි.’’

තිත්ත නමුත් ඇත්ත මෙයයි: ආණ්ඩුවට මුස්ලිම් ප්‍රජාව යනු ජන්ද ලබා ගැනීමේ මෙවලමක් පමණි.

අපේ එකෙක්: ත්‍යාගලාභී ශවීර් වල්දෙස්

‘‘මේ නරකාදිය ගැන වාර්තා කිරීම නිසා උරුම වන්නේ මරණය නම් උන් අප මරාදාපුදෙන්! නිහඩ නොවන බව කියමු!!”

ඒ වනාහි ත්‍යගලාභී මෙක්සිකෝ වාර්තාකරුවකු වූ ශවීර් වල්දෙස් (50) පසුගිය මාර්තුවේදී ඔහුගේ වෘත්තිය සගයකු වූ මිරොස්ලාවා බ්‍රෙච් ඝාතනය කරන ලද අවස්ථාවෙහිදී කී වචනය.

ඉන් දෙමසකට පසු පසුගිය 15දා දහවල් 12ට වෙඩි පහරවල් 12ක් එල්ල කර වල්දෙස් ඝාතනය කෙරුණි. මේ 2000 වසරෙහි සිට මෙක්සිකෝවහි ඝාතනය කරන ලද 100 මාධ්‍යවේදීන් සියය ඉක්මවයි. මෙම වසරෙහි ඝාතනයට ලක් වූ හය වැන්නා ඔහුය.
සුලියකාන් නම් ඔහු ජිවත් වූ නගරය වෙලාගෙන පවත්නා මත්ද්‍රව්‍ය ජාවාරම ගැන නොබියව ලිවීම ඔහු කළ වරද විය. නගරයේ අනෙක් බොහෝ පුවත්පත් බියට පත්ව නිහඬව සිටියදී වල්දෙස් සිය පුවත්පත මගින් මත් ජාවාරමෙහි බියකරු ප්‍රචන්ඩ ස්වරූපය නොනැවත වාර්තා කළේය. ඔහුගේ මාධ්‍යවේදය රඳා පැවැතියේ අගතියෙන් තොරව ඇත්ත ඇති සැටියෙන් ගවේශණය කර වාර්තා කිරීමෙහිය.

ජනමාධ්‍යවේදයේ ගෞරවය රදා පවතින්නේ ශවීර් වල්දෙස් වැනි බයනැතිව ඇත්ත කියන මිනිසුන් නිසාය. වල්දෙස් ඔබට සුභ ගමන්!

මැන්චෙස්ටර් මනුෂත්වය

තමන්ද පුපුරුවාගෙන සිය ලබ්දියට අයත් නැති විනෝදකාමී තරුණ තරුණියන් ඝාතනය කිරීම ස්වර්ගස්තවීමට හේතුවක් යැයි යන අන්තවාදය පිළිගත් නිසාදෝ 22 හැවිරිදි තරුණයකු පසුගිය සඳුදා මැන්චෙස්ටර් නගරයේදී 22දෙනෙකු ඝාතනය කර 64 දෙනෙකු තුවාල කළේය. ඒ තරුණ ජනයාට රස සාගරයක්ව තිබූ සංගීත සංදර්ශණයක් මැද පුපුරුවා ගැනීමෙනි.

මැන්චෙස්ටර් නගරය විශාල ලිබියානු ප්‍රජාවක් වාසය කරන නගරයක් වන අතර තමන්ව පුපුරුවා ගත් සල්මන් අබේදි ද ලිබියානුවෙකි. එසේ නමුත් නගරයෙහි ලිබියානු ප්‍රජාවට කිසිදු කරදරයක් නොවන බවට එහි පුරවැසියෝ වග බලා ගත්හ.

පිපිරීම වූ රුයෙහි ජනයා සිය නිවෙස්හි නිදන කාමර අතරමං වූ තරුණ පිරිසවලට හැර දුන් අතර ටැක්සි රියදුරෝ මුදල් ඇතිවත් නැතිවත් රැය පුරා සේවයේ යෙදුනහ.

එහි ජනයා නගරය සුවපත් කිරීමට තමන්ට කළ හැකි දේ කළහ. ලේ දන් දිමට ආ හෝටල් සේවකයකු කීවේ තමන් මිනිසුන් හා සිනහ වෙමින් දවසම නගරයේ ඇවිද යන බවයි. තවත් තරුණයන් දෙනෛකු මඟ යනෙන ජනයා වැළඳ ගනිමින් ජිවය නගරයට ජීවය කැවූහ.

බොහෝ දෙනෙකු මෙසේ කීහ. බෝම්බ වලට අප නගරයේ ජනයා බෙදන්න දෙන්නේ නැහැ!

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya
vikalpa.org