SRILANKAN NEWS

සිංහල මිතුරාණනි! නුඹ වෙනුවෙන් කඳුලු සැලීමට මම සූදානම්!

සිංහල මිතුරාණනි!
නුඹ වෙනුවෙන් කඳුලු සැලීමට මම සූදානම්ය!
නමුත් මා සතුව කඳුලු ඉතිරිව නැත..

නුඹව බේරා ගැනීමට දෑත් දිගු කරන්නට,
නුඹව බේරා ගැනීමට දිව එන්නට..,
නොහැකිවුණි මට.. මන්ද,
මෙවැනි මාසයකදී නොවෑ නුඹ එය කපා දැමුවේ!
නුඹට අමතක වෙන්නට ඇත..
නමුත්, මට අමතක කිරීමට නොහැකිය.. මන්ද,
මට අවිදින්නට නොහැක..

නුඹට මතකද..
නුඹට අමතක වෙන්නට ඇත..
නුඹ කුරිරු ලෙස එලවාගෙන ආ විට..
එක් අතක දරුවාත් තවත් අතක සුරතල් බලු පැටියත්
රැගෙන දිවි බේරා ගැනීමට දිව්වෙමු..

බලු පැටියා වෙනුවෙන් කඳුලු සැලූ අපි
නුඹ වෙනුවෙන් කඳුලු නොහෙලා සිටිමුද ?
සමාවන්න සහෝදරයාණනි..
දැන් අප සතුව කඳුලු නැත!

නුඹ දියේ ගිලෙන විට, අපි කඳුලු අතර ගිලෙන්නෙමු..
හෙට ගංවතුර අඩුවී නුඹට යහපතක් වනු ඇත!
නුඹ වෙනුවෙන් ලොවම පැමිණෙයි!

අඩ පණවී නන්දිකඩාල් වල ගිළුනු විට
මා වෙනුවෙන් කිසිවකු පැමිණියේ නැත,
මින් පසුද පැමිණෙන්නේ ද නැත..
ඉදිරියටත් පැමිණීමට අවශ්‍ය නැත..

සිංහල සහෝදරයාණනි!
නුඹ වෙනුවෙන් මම අඩන්නට සූදානම්ය,
නමුත් මා සතුව කඳුලු නැත..

පොකුරු පොකුරු මෙන්..
බඩවැල් ඉරුණු
අප්‍රාණික කඳන් මෙන්
මෙවැනි මාසකදී තමයි
අහස දෙදෙරමින් වැලපුනෙමු..

සත්‍ය පවසන්න
නුඹට ඇහුනද? නැද්ද?

මා වෙනුවෙන් නුඹ අතක් හෝ දිගු නොකළෙහිය!
මා වෙනුවෙන්  කඳුලක් හෝ සැලුවේ නැහැනේ!
මා වෙනුවෙන් කිසිඳු හඞක්  දකුණෙන් නොඇසුණෙහිය!

යුද්දය ඇතිවුණේ මමයි නුඹයි අතර ද?
නැහැ නේද?
ඇයි නිහඞව සිටියේ?
ඇයි අහක බලාගෙන සිටියේ?

යුද්දය
නුඹලා ඉදිරියේ අපිව
සපා කා.. දෑත් පිටුපස බැඳ,
කළු පටිවලින් දෑස් බැඳ,
පිට කොන්දට පයින් ගසා,
හිසට පහරදී,
සපා කා.. කෙළ ගසා..
දෑත් සෝදාගෙන ගිය විට..
හම්බන්තොටදී.. අලුත්ගමදී..
නුඹලා මල් වෙඩි දමා,
සැමරුවෙහිය..

පසු දිනක
කටු කම්බි වැටක් තුළ..
අපි අහස දෙදරමින්.. උගුර කැඩනතෙක්..
බෙරිහන් දුන්නෙමු..
නුඹ පත්තු කළ “ මල් වෙඩි“ නිසා
අපගේ වැලපීම නුඹට ඇසුනේ නැත..!

අද
නුඹ වෙනුවෙන් මම කඳුලු සලන්නට කැමැත්තෙන් සිටිමි.
නමුත් මා සතුව කඳුලු නැත..

ගිය සතියේ ..
නන්දිකඩාල් වෙරළදී..
මගේ අයියා වෙනුවෙන් කඳුලු සලමින් සිටියෙමි..

මුල්ලිවායික්කාල්වල අතුරුදන් වූ තම දරුවාව,
මවක් සොයාගෙන සිටියාය..
නුඹ ද! කිලිනොච්චියේ මාර්ගවල
‘සිංහලේ‘ කොඩිය එසවීමටත්..
යාපනයේ විහාරයට මුල් ගල් තැබීමටත්
කාර්ය බහුලව සිටියෙහිය…

කොළඹ මාර්ගවල රතිඤඤා පත්තු කිරීමටත්
ජය සැමරුමට කිරිබත් කෑමටත්
අවිවිවේකිව නුඹ සිටියෙහිය..

නුඹට අමතක වන්නට ඇත!
නමුත් මම අමතක කළේ නැත!
අමතක කිරීමටත් නොහැකය!
අමතක ද නොකළ යුතුය!

නුඹ වෙනුවෙන් මා කඳුලු සැලීමටත්..
නඹ වෙනුවෙන් මාගේ දෑත් දිගු කිරීමටත්..
නුඹ වෙනුවෙන් මා දිව ඒමටත්..
මට නොහැකිය.. මන්ද,
මගේ දෙපා.. මගේ දෑත්..
නුඹ කපා දැමුවේ.. මෙවැනි මාසකදීය ..

නුඹට අමතකවන්නට ඇත!
නමුත් මම අමතක ක‍ළේ නැත..
මන්ද, මට අවිදින්නට බැරිය..

සිංහල මිතුරාණනි!
නුඹ වෙනුවෙන් මම අඩන්නට කැමැත්තෙමි..
මා සතුව කඳුලු නොමැත!
නමුත්! නුඹේ දුක් වේදනාවේදී..
මමත් එක්වන්නට නුඹේ දෑත් දිගු කරන්න..
මා බලා සිටින්නෙමි..

එතෙක්!
ආරියකුලම් බුදු හාමුදුරුවන්ගෙන්
නුඹ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙමි..

මාව බේරා නොගත් බෝධි රජාණන් නුඹව බේරා ගනු ඇත!

– සභාරත්නම් විමලේෂ්වරා –
– පරිවර්ථනය  GTN Sinhala –

1 Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *

  • අපද ඔබට ගරු කරමි සොයුර එහෙත් ඔබලා තවමත් මෙම දේශය කඩා දැමිමට උත්සහ කරන්නේනමි අපට ඔබගේ සහය උවමනා වන්නේ නැත… අප ඔබට අදරය කරමි.. එහෙත් ඔබගේ ත්‍රස්ථවාදයට අප ආදරය කරන්නේ නැත. මන්ද ඔබ පවසන අන්දමට ඔබගේ අයවළුන්සේම ඔබගේ ත්‍රස්ථවාදය අපගේ පිරිස්ද ඝාතනය කල ආකාරයන් ඔබට අමතකව ඇත. පොඩ් දරුවන් ඉතා කුරිරු ආකාරයට මරා දමා තිබුණා ඔබට අමතකව ගොස් ඇත. එවා මතක් කරන්නට කාලය මෙය නොවන අතර, තමන් ගැන පමණක් නොසිත අනිකුත් සියල්ලන් ගැනම සිතන්න දේශපාලය යනු ජිවිත බිලිගන්නා එක් ආයතනයක් පමණි.