SRILANKAN NEWS

ආපදා සහන ලබාදීමට රටවල් රැසක් ඉදිරිපත් වෙයි..

ඇමරිකා එක්සත් ජනපදය, ජපානය සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ඊයේ (29) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වී, මේ බව සඳහන් කළහ.

මෙම හමුවීම් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ජපාන තානාපති, කෙනෙච් සුගනුමා මහතා ඊයේ පෙරවරුවේ, විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ප්‍රකාශ කළේ ආපදා තත්වය හමුවේ, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහාය ලබා දීමට ජපාන රජය සූදානම් බවයි. පානීය ජල පෙරණ, විදුලි ජෙනරේටර් කඩිනමින් ආපදාවට පත් වූ ප්‍රදේශ වෙත ලබා දීමට පියවර ගන්නා බවද තානාපතිවරයා පැවසීය.

මේ අතර, ආපදා සහන කටයුතු සඳහා ජපානයේ විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන ඇති බවද තානාපති, කෙනෙච් සුගනුමා මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා ප්‍රකාශ කළේ අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ශෝකය පල කරන බවයි. ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් බවද අතුල් කෙෂාප් මහතා පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩොරිස් (James Dauris) මහතා ආපදා තත්වය පිළිබද ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ශෝකය පළ කළේය. ආපදා තත්වය හමුවේ බ්‍රිතාන්‍යයද ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව ද ජේම්ස් ඩොරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, සාර්ක් සංවිධානයේ මහ ලේකම් අම්ජඩ් හුසෙයින් බී. සායිල් මහතාද, අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වී රටේ අයහපත් කාලගුණික තත්වය හමු වේ විපතට පත් වු ජනතාව වෙනුවෙන් ශෝකය පළ කළේය. විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී කියා සිටියේ පවතින මේ මොහොතේ ශ්‍රී ලංකාවට සහය වීමට ඉදිරිපත්වීම සතුටට කරුණක් බවයි.