SRILANKAN NEWS

මැතිවරණය කල් දමන්නේ නැහැ – මැතිවරණ කොමසාරිස්

එළැඹෙන සැප්තැම්බරයේදී පළාත් සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ප‍්‍රකාශ කරන බවත් මැතිවරණ කල් දමන්නේ නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ගංවතුරින් එකතු වූ ප්ලාස්ටික් ඇතුළු නොදිරින අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

පවතින ව්‍යවස්ථාදායක අණපනත් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එම පළාත් සභා මැතිවරණය පැවත්වීම වැලක්වීමට නම් එය තීරණය කළයුත්තේ ජනමත විචාරණයකින් අනුව හෝ අධිකරණ තීන්දුවකින් පමණක් බවත් වෙනත් කිසිඳු ක‍්‍රියාමාර්ගයකින් එය කළ නොහැකි බවත් ඒ මහතා අවධාරණය කරයි.

ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීමට ආකෘති පත‍්‍ර භාරගැනීම මේ දිනවල සිදු කරනබවත් පවතින ගංවතුර ආපදා හමුවේ වුවද ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම ජූලි 31 දක්වා සිදුකරන බවත් අවතැන්ව සිටින පිරිස සම්බන්ධව දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ නිර්දේශ මත සුදුසු පරිදි ඡන්දහිමි නාමලේඛන ලබාගන්නා බවත් ඔහු අවධාරණය කරයි.