WORLD NEWS

කටාරයට ඉරානයෙන් ආහාර ද්‍රව්‍ය

කලාපිය රටවල් 06ක් පනවා ඇති සම්බාධක හමුවේ ආහාර ද්‍රව්‍ය හිඟයකට මුහුණ පා සිටින කටාර් රාජ්‍යයට, ඉරානය ගුවන් යානා 05කින් එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය යවා ඇති බව වාර්තාවී තිබේ.

කටාර් රාජ්‍යයට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් 40%ක් පැමිණෙන්නේ සෞදි අරාබියේ ගොඩබිම් දේශසීමා හරහා ය.

සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, ලිබියාව සහ යේමනය කටාර් රාජ්‍ය සමග සබඳතා නතර කිරීමත් සමග දේශසීමා ද වසා දමනු ලැබුවේ ය. ඒ, කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට සහය දෙන බවට චෝදනා කරමිනි.

ඉරාන් ගුවන් සේවය සඳහන් කළේ, එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය රැගත් ගුවන් යානා 05ක් දැනට කටාර් රාජ්‍යයට යවා ඇති අතර අද දිනයේ තව ත් ගුවන් යානයක් පිටත් කර යවන බව ය.

කෙසේ වෙතත්, ඉරානයෙන් කටාර් රාජ්‍යයට ආධාරයක් ලෙස මෙම ආහාර ද්‍රව්‍ය යවන්නේ ද නැතහොත් වෙළෙඳ ගනුදෙනුවක් ලෙස සපයන්නේ දැයි මෙතෙක් පැහැදිලි වී නොමැත.

අවශ්‍යතාවය පරිදි තවදුරටත් කටාර් රාජ්‍යයට භාණ්ඩ යැවීමට සූදානම් බව ඉරානය සඳහන් කර තිබේ.